දකුණු අප්‍රිකාව පරදා නෙදර්ලන්තයෙන් පෙරළිකාර ජයක් ; ශ්‍රී ලංකාව අන්තිමයා වෙයි

Match Report

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පෙරළිය සිදු කරමින් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 38 ක සුපිරි ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හැරුණු විට සෙසු සියලු රටවල් මේ වන විට ජයග්‍රහන වාර්තා කර ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

අද ධරම්ශාලා හී දී පැවැති තරගයේ එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දුවාර 43 කට සීමා කිරීමට සිදු වූ අතර, කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 245 ක් ලබා ගත්තා. ඒ, නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 140 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

කෙසේ වෙතත්, සිය කණ්ඩායම සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමේ වගකීම කරට ගත් නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78 ක් රැස් කළේ පන්දු 69 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා.

ඔහුට අනගි සහායක් ලබා දුන් Roelof van der Merwe ලකුණු 29(19) ක් හා Aryan Dutt නොදැවී ලකුණු 23(9) ක් රැස් කළා. Dutt ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලුනිග් එන්ඩිගී‍, මාර්කෝ ජන්සෙන් හා කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණයි. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 44 ක් තුළ බිද වැටුණා.

හෙන්රික් ක්ලාසන් ලකුණු 28 ක් හා ජෙරාල්ඩ් කොට්සී ලකුණු 22 ක් ලබා ගත්තා. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 20යි. ඩේවිඩ් මිලර් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සටන්කාමී ඉනිමක් දියත් කිරීමට උත්සාහ කළ ද ලකුණු 43 කට ඔහු දැවී යාමත් සමග තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම නෙදර්ලන්තයට නතු වුණා. කේෂාව් මහරාජ් ලකුණු 40 යි.

පන්දු යැවීමේ දී Logan van Beek කඩුලු 3 ක් දවා ගත් අතර, Paul van Meekeren, Roelof van der Merwe හා Bas de Leede කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී නෙදර්ලන්තය ලැබූ තෙවැනි ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්. එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී ඔවුන් ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ලැබූ පළමු ජය මෙයයි.

[team_standings 51865]

big 3
Comments (0)
Add Comment