20යි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී ඉන්දීය කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය වාර්තා කරමින් නවසීලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 168 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(1) සමත් වුණා. එය ඉතිහාසගත වුණේ ටෙස්ට් වරම් හිමි රටක් විසින් තවත් ටෙස්ට් වරම් හිමි රටකට එරෙහිව වැඩිම ලකුණු පරතරයක් සහිතව 20යි 20 තරගයක් ජය ගත් අවස්ථාව ලෙසයි.
අහ්මදාබාද් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයෙන් ඉන්දියාව ලැබූ ජයත් සමග ඔවුන් තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණේ තරග 2-1 ක් ලෙසයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 234 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ෂුබ්මන් ගිල් වාර්තා කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින්.
ගිල් නොදැවී ලකුණු 126 ක් ලබා ගත්තේ පන්දු 63 ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්. රාහුල් ත්‍රිපාති ලකුණු 44 යි.
සිව්වැනි කඩුල්ල සදහා හර්ඩික් පාන්ඩ්යා හා ෂුබ්මන් ගිල් පන්දු 40 කින් වේගවත් ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. පාන්ඩ්යා ලකුණු 30 ක් රැස් කළේ පන්දු 17 කින්.
පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල්, බ්ලෙයාර් ටික්නර්, ඉෂ් සෝදි හා ඩැරල් මිචෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 12.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 66 ක් පමණයි.
ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 7 ක් තුළ බිද වැටුණු අතර, නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ ඩැරල් මිචෙල්. ඔහු ලකුණු 35 කට දැවී ගිය අතර, මිචෙල් සැන්ට්නර් ලකුණු 13 ක් ලබා ගත්තා.
සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තා. අර්ෂ්දීප් සිං, උම්රාන් මලික් හා ශිවම් මාවි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.