Watch : තෙවැනි වේගවත්ම T20I ශතකය ඩේවිඩ්ගේ පිත්තෙන්

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම සහ ඕස්ට්‍රේලියා කණ්ඩා‍යම අතර පැවති 3 වන විස්සයි 20 තරගය St Kitts, Basseterre හීදී නිමාවට පත් වුණේ ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 6 ක විශිෂ්ට ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

ඕස්ට්‍රේලියාවේ ආරාධනය මත ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 214 ක් රැස්කිරීමට සමත්වුණා.

එහිදී තම මංගල ජාත්‍යන්තර විස්සයි 20 ශතකය රැස්කළ ශායි හෝප් පන්දු 57 ක් තුළ නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 102 ක්. බ්‍රැන්ඩන් කිංග් ලකුණු 62(36) ක් ලබා ගත්තා.

කොදෙව්වන් ලබා දුන් ලකුණු 215 ක දැවැන්ත ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඕස්ට්‍රේලියාලුවන් සමත් වුණේ පන්දුවාර 16.1 තුළදී කඩුලු 4ක් බිද වැටී සිටියදීයි.

විශිෂ්ට ඉනිමක නිරත වූ ටිම් ඩේවිඩ් එදාමෙදා තුළ ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියේදී ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව වාර්තා වූ තෙවන වේගවත්ම ශතකය වාර්තා කළ අතර, ඔහු එය රැස්කිරීමට වැය කළේ පන්දු 37 ක් පමණයි. එම ඉනිමට හයේ පහරවල් 11 ක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානුවෙක් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියේදී වාර්තා කළ වේගවත්ම ශතකයේ වාර්තාවද මෙහිදී සිය නම ඉදිරියේ ලියාගැනීමට ඔහු සමත්වුණා.

ඔස්ට්‍රේලියානුවන්ට තරගය ජයග්‍රහනය කිරීම සදහා ලකුණු 4 ක් අවශ්‍ය වූ අවස්ථාවේදී ටිම් ඩේවිට්ට ශතකය වාර්තා කිරීමට ලකුණු 2 ක් පමණක් අවශ්‍යව තිබුණා.

එවන් අවස්ථාවක හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය මෙන්ම සිය ශතකය ද සම්පූර්ණ කර ගැනීමට ටිම් ඩේවිඩ් සමත් වුණා.

Comments (0)
Add Comment