තෙවැනි දිනයේ දිවා ආහාරයටත් පෙර අවසන් වූ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් ඉන්දෝර් ක්‍රීඩාංගනයේ තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද අවසන් වූ මෙම තරගයේ පළමු දිනයේ සිටම තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් උචිත ස්වභාවයක් ගනු ලැබූ අතර, පළමු දිනයේ දී පමණක් කඩුලු 14 ක් බිද වැටුණා.
තරගයේ දී දැවී ගිය කඩුලු 31 න් කඩුලු 26 ක් ම දග පන්දු යවන්නන් විසින් දවා ගත් අතර, වේග පන්දු යවන්නන් විසින් දවා ගත්තේ කඩුලු 4 ක් පමණයි. එක් කඩුල්ලක් දුවද්දී දැවීයාමක් ලෙස දැවී ගියා.
ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් විසින් සිය වාර්තාව තුළින් අදාළ තණතීරුව “දුර්වල” (poor)
තණතීරුවක් ලෙස නම් කර ඇති බැවින් ඉන්දෝර් හි Holkar ක්‍රීඩාංගනයට දඩුවම් ලකුණු 3 ක් පැනවීමට කටයුතු කර ඇති බවයි.
අවශ්‍යනම් මෙම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දින 14 ක කාලයක් පවතිනවා.
“තණතීරුව ගොඩක් වියළියි. පිතිකරණය හා පන්දු යැවීම අතර සමබරතාවයක් ලබා දුන්නේ නැහැ. ආරම්භයේ සිටම දග පන්දු යවන්නන්ට සහාය දක්වනු ලැබුවා.” යනුවෙන් ක්‍රිස් බ්‍රෝඩ් සදහන් කර තිබෙනවා.
තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් (below average) ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබන අතර, තණතීරුවක් “දුර්වල” (poor) යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” (unfit) යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.
වසර 5ක කාලයක් සදහා මෙම දඩුවම් ලකුණු වලංගු වනවා. දඩුවම් ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මාස 12කට අත්හිටුවනු ලබනවා.