තීරණාත්මක දෙවැනි තරගයට වැස්ස හරස් වෙයි ද ?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තීරණාත්මක දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම පිළිබද ශ්‍රී ලංකාවට අවසන් වශයෙන් යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමටනම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉදිරි එක්දින තරග දෙකම ජය ගත්ත ද, ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් නෙදර්ලන්තයට එරෙහි එක්දින තරග දෙකෙන් දකුණු අප්‍රිකාව අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත් වීම අනිවාර්යයෙන් සිදු විය යුතුයි.

එමෙන්ම බංග්ලාදේශයට එරෙහි තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ දී අයර්ලන්තය ද අවම වශයෙන් එක් තරගයක් පරාජයට පත් වීම අනිවාර්යයි.

ඒ අනුව පවතින තත්ත්වය අනුව බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට සිදු වනවා.

හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය  යොමුව ඇති බව නොරහසක්. නිමා වූ පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 කින් පරාජයට පත් වූ අතර, එම තරගයේ දී ශ්‍රී ලංකා පිල රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 76 ක් පමණයි. ඊට පෙර ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගයේ දී ද ඔවුන් ලකුණු 73 කට ඉන්දියාව හමුවේ දැවී ගියා.

ඒ අනුව නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත් නොවී සිටීමටනම් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වහාම ඉහළ දක්ෂතා අතරට පිවිසීමට සිදු වනවා.

පළමු තරගය සදහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් ද දැඩි මතභේදයක් ඇති කරනු ලැබුවා. විශේෂයෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා එම තරගයට ක්‍රීඩා නොකිරීම එහිදී විශේෂ අවධානයකට ලක් වූ කරුණක්.

හෙට තරගය සදහා ධනංජය ද සිල්වා කැදවීමට ඇතැම් විට අවධානය යොමු වීමට ඉඩ ඇතත්, ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්.

වනිදු හසරංග 20යි 20 තරගවලදී ඉහළ දක්ෂතා දක්වන බව නොරහසක් වුවද, එක්දින තරගවලදී ඔහුගේ දක්ෂතා ඉහළ මට්ටමක දැක ගත නොහැකි වීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම හා සැසදීමේ දී දෙවැනි එක්දින තරගයට අවම වශයෙන් වෙනස්කම් දෙකක් සිදු කිරීමට නවසීලන්තයට සිදුව තිබෙනවා. ඒ, ෆින් ඇලන් හා ග්ලේන් පිලිප්ස් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් සංචිතයෙන් ඉවත්ව ඇති බැවින්. බොහෝ විට හෙන්රි නිකල්ස් හා මාර්ක් චැප්මන් ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමට කැදවීමට නියමිතයි.

ක්‍රයිස්චර්ච් හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනය වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන පිටියක් ලෙස සැලකිය නොහැකි අතර, වේග පන්දු යවන්නන්ට වඩාත් සහායක් දක්වන ක්‍රීඩාංගනයක් ලෙස සැලකිය හැකියි.

හෙට දිනයේ පෙරවරු කාලයේ දී ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ වැඩි සම්භාවිතාවක් ද ඇති බැවින් තරගයේ ආරම්භයට එය බලපෑමක් සිදු කරනු ඇති.

ඇතැම් විට එය පන්දුවාර 50 ක සම්පූර්ණ තරගයක් පැවැත්වීමට ද බලපෑම් එල්ල කිරීමට ඉඩ පවතිනවා.

big 3
Comments (0)
Add Comment