චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුතු බවට මේ වන විට දකුණු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සති අන්තයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට ගත් තීරණය හේතුවෙනුයි ඔවුන් මෙලෙස සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුතු බවට හඩක් නගමින් සිටින්නේ.
ක්‍රීඩක වෙන්දේසියේ දී මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලක් වියදම් කළා.
මීට පෙර ද චෙන්නායි කණ්ඩායම සදහා මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, තිලාන් තුෂාර වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කර තිබුණා.
කෙසේ වෙතත්, 2012 වසරෙන් පසුව කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු චෙන්නායි කණ්ඩායම නියෝජනය කළේ නැහැ.
මෙරට යුද සමයේ සිදු වූ බව කියන ඇතැම් සිද්ධීන් පාදක කර ගනිමින් තමිල්නාඩු දේශපාලනඥයින් හා ඇතැම් පාර්ශව විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැක් වූ විරෝධය ඊට හේතු වුණා.
මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කිරීම ද ඔහුට හා චෙන්නායි කණ්ඩායමට එරෙහිව මේ වන විට එල්ල වන විරෝධය දැඩි වීමට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.