නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සිදු කළ පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් ‍හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සංචිතයට ආදේශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද එළඹෙන ඉන්දීය තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගත්තේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

top
Comments (0)
Add Comment