ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම නම් කෙරේ

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරගයට (එංගලන්තයට එරෙහිව) ක්‍රීඩා නොකළ රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ෂාමි සහ ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ජඩේජා ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ අතර, බුම්රා සිව්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණේ ඔහුගේ විවාහය හේතුවෙන්.

මොහොමඩ් ෂාමිට අවසන් වරට ඉන්දියාව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 7 ක්‍රීඩා කිරීමට හැකිව තිබුණේ නැහැ.

ඒ, නිමා වූ ඔස්ට්‍රේලියානු සංචාරයේ ඇඩිලේඩ් ටෙස්ට් තරගයේ දී පැට් කමින්ස් යොමු කළ පන්දුවක් ඔහුගේ අතේ වැදීමෙන් සිදු වූ ආබාධය හේතුවෙන්.

හෙට(18) නවසීලන්තයට එරෙහිව ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එක්වන්නේ ඉනිම ආරම්භ කිරීමේ වගකීම රෝහිට් ෂර්මාට සහ ෂුබ්මන් ගිල්ට පවරමින්.

අත්දැකීම් බහුල කඩුලු රකින ක්‍රීඩක ව්රිධිමන් සහා වෙනුවට මෙම තරගයේ දී කඩුලු රැකීමේ වගකීම රිෂාබ් පාන්ට් විසින් දැරීමට නියමිතයි.

අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි, එහෙත් අවසන් තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් නම් කර නොමැති ක්‍රීඩකයින් සිව් දෙනා වනුයේ මොහොමඩ් සිරාජ්, ව්රිධිමන් සහා, හනුමා විහාරි හා උමේෂ් යාදෙව්.

අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම සදහා රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් යන දග පන්දු යවන්නන් දෙදෙනාම ක්‍රීඩා කරන අතර, වේග පන්දු යවන්නන් ලෙස ඉෂාන්ට් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් ෂාමි යන තිදෙනා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම :

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant (wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Ishant Sharma, Mohammed Shami and Jasprit Bumrah.

Comments (0)
Add Comment