ටෙස්ට් ඉතිහාසයේ කෙටිම ටෙස්ට් තරගයේ දී අලුත් වූ වාර්තා මෙන්න

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනයේ දී අද (4) නිමා වුණේ ඉන්දියාවට කඩුලු හතක ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී ලෝක වාර්තා රැසක් අලුත් වූ අතර, මෙම තරගය ඉතිහාසයට එක් වුණේ ටෙස්ට් ඉතිහාසයේ පැවැති කෙටිම ටෙස්ට් තරගය ලෙසයි.(ප්‍රතිපලයක් සහිතව අවසන් වූ)

ඉන්දු – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දී ක්‍රියාත්මක වූයේ පන්දු 642 ක් පමණයි. මීට පෙර කෙටිම ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්ව තිබුණේ පන්දු 656 කින් අවසන් වූ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර 1932 වසරේ දී මෙල්බර්න් හී දී පැවැති ටෙස්ට් තරගයයි.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ඉන්දීය කණ්ඩායමක් ලැබූ පළමු ටෙස්ට් ජය වන්නේ ද අද ඔවුන් ලැබූ ජයග්‍රහනයයි. මීට පෙර එම ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව ටෙස්ට් තරග හයක් ක්‍රීඩා කර තිබූ නමුත්, ඔවුන් එම තරග සියල්ල පරාජයට පත්ව තිබුණා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ දී දෙවැනියට පන්දුවට පහර දී ඉන්දියාව ටෙස්ට් තරගයක් ජය ගත් පළමු අවස්ථාව ද මෙය වීම කැපී පෙනුණා.

කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකර ඉන්දියාව ජයග්‍රහනය කළ ඉතිහාසයේ දෙවැනි ටෙස්ට් තරගය වන්නේ ද අද නිමා වූ තරගයයි. මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළේ ලකුණු 46 ක් රැස් කළ විරාත් කෝලි.

ජයග්‍රහනය කළ කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ වාර්තා නොකර, පරාජයට පත් වූ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ශතකයක් වාර්තා කළ ටෙස්ට් තරග දෙකක් මීට පෙර වාර්තා වී තිබූ අතර, අද කේප් ටවුන් හී දී නිමා වූ ටෙස්ට් තරගය එවැනි සිදු වීමක් වාර්තා වූ තෙවැනි තරගය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

මීට පෙර 1963 වසරේ දී නවසීලන්තය හා එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරගයකදී ද, 2000 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් තරගයකදී ද එවැනි සිදු වීමක් වාර්තා වී තිබුණා.

අද නිමා වූ තරගයේ දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී ඒඩ්න් මාක්‍රම් ලකුණු 106 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා ඉනිමේ දෙවැනි ඉහළම ලකුණුලාභියා වූයේ වැඩබලන නායක ඩීල් එල්ගර්. ඔහු ලකුණු 12 කට දැවී ගියා.

ඒ අනුව එය ඉතිහාසයට එක් වුණේ ශතකයක් වාර්තා වූ ඉනිමක (සියලු දෙනා දැවී ගිය) දෙවැනි ඉහළම ලකුණුලාභියා වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

big 3
Comments (0)
Add Comment