ජොස් බට්ලර් නායකත්වය ගැන තීරණයක් ගනියි

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.

ඒ, එංගලන්තයට 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූ පසුබිමකයි.

ඒ අනුව ශූරයින්ගේ කුසලාන තරගාවලිය යටතේ හෙට(1) කරච්චිහීදී දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තය ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගයෙන් පසුව බට්ලර් නායකත්වයට සමු දීමට නියමිතයි.

මෙවර තරගාවලිය යටතේ එංගලන්තය ක්‍රීඩා කළ පළමු තරග දෙකෙන් ඔවුන් ඔස්ට්‍රේලියාව හා ඇෆ්ඝනිස්තානය හමුවේ පරාජයට පත් වුණා.

ශූරයින්ගේ කුසලානයට පෙර එංගලන්ත කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක ද නිරත වූ අතර, එම සංචාරයේදී එංගලන්තය ක්‍රීඩා කළ සීමිත පන්දුවාර තරග අටෙන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

බට්ලර් එරට සුදු පන්දු කණ්ඩායමේ නායකයා ලෙස 2022 ජූනි මාසයේදී පත් කෙරුණේ ඔයින් මෝර්ගන් වෙනුවටයි.

බට්ලර්ගේ නායකත්වයෙන් එංගලන්තය එම වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ද ජය ගැනීමට සමත් වුණා.

නමුත්, ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ දක්ෂතා ක්‍රමයෙන් පහතට ඇද වැටුණු අතර, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ දී හා 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඔවුන්ට සාර්ථක දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට හැකි වූයේ නැහැ.

top
Comments (0)
Add Comment