ජොන්සන්ගේ කඩුලු පහ හමුවේ පාකිස්තානය T20 තරගාවලිය පරදියි

Match Report

පාකිස්තානය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් තරගාවලියේ ජය ද එක් තරගයක් ඉතිරිව තිබියදී තහවුරු කර ගැනීමට (2-0) ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත් වුණා.

සිඩ්නිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

උස්මාන් ඛාන් පන්දු 38 කින් ලකුණු 52 ක් රැස් කළ අතර, ඉර්ෆාන් ඛාන් නොදැවී ලකුණු 37(28) යි. මොහමඩ් රිස්වාන් ලකුණු 16 කට දැවී ගියා. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව ඉක්මවා යාමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ස්පෙන්සර් ජොන්සන් ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගත්තා. ඇඩම් සම්පා කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 19 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් ශෝර්ට් ලකුණු 32 ක්, ආරෝන් හාර්ඩි ලකුණු 28 ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 21 ක් රැස් කළා. ජේක් ෆ්‍රේසර් මැක්ගර් ලකුණු 20 යි.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 22 කට කඩුලු 4 ක් හා අබ්බාස් අෆ්රිඩි ලකුණු 17 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

top
Comments (0)
Add Comment