ජනපති අනුරට පාකිස්තානය හිස නමයි ; ඉන්දු – පාකිස්තාන තරගය නියමිත පරිදි…, අයි.සී.සීයෙනුත් විශේෂ ප්‍රකාශයක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත තරගය වර්ජනය නොකර ක්‍රීඩා කිරීමට පාකිස්තානය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සිදු කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif හා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති දුරකතන සංවාදයකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අදාළ තරගය ක්‍රීඩා කරන ලෙසට ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමෙන් පසුව තමන් අවසන් තීරණය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවයි.

මේ අතර, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ඉන්දු-පාකිස්තාන තරගය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි පැය 48 ඇතුළත් ප්‍රකාශයට පත් කර බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Aminul Islam ද අදාළ තරගය ක්‍රීඩා කරන ලෙසට මේ වන විට පාකිස්තානයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ, අයි.සී.සී උප සභාපති Imran Khwaja හා පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා සමග ඉරිදා ලාහෝර්හීදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීමට නොහැකි බවට බංග්ලාදේශය ප්‍රකාශ කිරීම හේතුවෙන් බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට අයි.සී.සීය කටයුතු කළා. එය අසාධාරණ බව ප්‍රකාශ කරමිනුයි පාකිස්තානය මෙවර තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමට තීරණය කර තිබුණේ.

මේ අතර, අයි.සී.සීය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පැවැති සාකච්ඡාව පිළිබද තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත කිසිදු මූල්‍ය, ක්‍රීඩා හෝ පරිපාලන දඬුවමක් පැනවීමෙන් වැළකී සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ.

එමෙන්ම 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බංග්ලාදේශයට අයි.සී.සී තරගාවලියක සත්කාරකත්වය ලබා දීමට ද අයි.සී.සීය එකගතාවය පල කර තිබෙනවා.

top
Comments (0)
Add Comment