මාර්ක් චැප්මන් හා චමිදු වික්‍රමසිංහ 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ ලකුණු 154 (99)ක නොබිදුණු සම්බන්ධතාවය අපතේ යවමින් දසුන් ශානක දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සික්සර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
පන්දු යැවීමේ දී ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගනිමින් සික්සර්ස් ඉනිමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ දසුන් ශානක, ෆැල්කන්ස් හඹා යාම ශක්තිමත් කළේ පන්දු 15 කින් නොදැවී ලකුණු 46 ක් ලබා ගනිමින්. හයේ පහර 5ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37(20) යි.
දසුන් හා මැතිව්ස් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 72* (26) ක්.
ෆැල්කන්ස් ආරම්භක පිතිකරුවෙකු වූ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු නොලබා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, මොහමඩ් හැරිස් ලකුණු 5කට දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 27(20) ක් හා ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 40 කින් ලකුණු 65 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී නුවන් තුෂාර, මුස්ටර්ෆිසුර් රහ්මාන්, අකිල ධනංජය හා චමිදු වික්‍රමසිංහ කඩුල්ල බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 25 ක් තුළ බිද වැටුණු පසුබිමකයි චැප්මන් හා චමිදු සුපිරි සම්බන්ධතාවයක් ගොඩ නගමින් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන ගියේ.
චැප්මන් නොදැවී ලකුණු 91(61) ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් සමගින්. සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයට ක්‍රීඩා කළ වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයා වූ චමිදු පන්දු 42 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62 ක්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.