නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ (පිරිමි) ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටීඩ්ගේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2025 වසර මැද භාගය දක්වා ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.
ගැරී ස්ටීඩ් පළමු වරට පුහුණුකරු ධූරය සදහා 2018 වසරේ දී පත් කෙරුණේ වසර දෙකක කාලයක් සදහායි.
අනතුරුව 2020 වසරේ දී ඔහුගේ ධූර කාලය 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා දීර්ඝ කරනු ලැබුවා.
වසර දෙකකින් ඔහුගේ ධූර කාලය යළි දීර්ඝ කිරීමත් සමඟ වත්මන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසානය දක්වා එනම් 2025 වසරේ ජූනි මාසය දක්වා ඔහු අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.
2021 වසරේ දී නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරයින් ලෙස කිරුළු පලදිනු ලැබුවේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.
ඉදිරි වසර දෙකක කාලයේදී ගැරී ස්ටීඩ්ගේ පුහුණුකාරිත්වය යටතේ නවසීලන්තය 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මෙන්ම 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.