2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සදහා තාවකාලිකව ඉදි කළ නිව් යෝර්ක් හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කඩා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, තරගාවලිය යටතේ ඊයේ(12) එම ක්‍රීඩාංගනයේ පැවැති ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරගය අවසන් වීමත් සමගයි.
ඒ අනුව දින 106 කින් පමණ නිර්මාණය කෙරුණු මෙම ක්‍රීඩාංගනය ගලවා ඉවත් කිරීමේ කටයුතු සති හයක පමණ කාලයක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
අනතුරුව ක්‍රීඩාංගනය පිහිටි Eisenhower උද්‍යානය මීට පෙර එය පැවැති තත්ත්වයටම පත් කරන අතර, මහජනතාවට ද නොමිලේ හා නිදහස්ව එම උද්‍යානයට පිවිසීමට හැකි වනු ඇති.
පසුගිය සති දෙකේදී එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණා. මහජනතාවට ද එම ප්‍රදේශයට පිවිසීම සීමා කර තිබූ අතර, ප්‍රදේශයට ඇතුළු වන පුද්ගලයින්ව දැඩි ලෙස නිරීක්ෂණයට ලක් කෙරුණා.
කෙසේ වෙතත්, මෙම ක්‍රීඩාංගනයේ තණතීරුවලට සිදු වන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙක් මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වන්නේ නැහැ.
තණතීරු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය Nassau ප්‍රාන්ත බලධාරීන්ට පැවරෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කර ඇත්තේ.
ඒ අනුව Nassau ප්‍රාන්ත බලධාරීන්ට අවශ්‍යනම් එම තණතීරු නඩත්තු කර ගනිමින් ඉදිරියටත් පවත්වා ගෙන යා හැකි බව සදහන්. ඔවුන්ට එය පවත්වාගෙන යාමට අවශ්‍ය නොමැති නම්, අයි.සී.සීය විසින් අදාළ තණතීරු අවශ්‍ය වෙනත් ස්ථානයකට රැගෙන යනු ඇති.
මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ද මෙම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබද මීට පෙර එම තරගාවලියේ සංවිධායකවරුන්ගේ අවධානය යොමුව තිබූ නමුත්, පසුව එම අදහස අත්හැර දමා තිබුණා.
මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන, ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත කණ්ඩායම (MI නිව් යෝර්ක්) නිර්මාණය කර ඇත්තේ ද නිව් යෝර්ක් නුවර කේන්ද්‍ර කර ගනිමිනුයි. ඒ අනුව ඉදිරියේ දී මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් (මුකේෂ් අම්බානි ප්‍රමුඛ Reliance Industries) විසින් නිව් යෝර්ක් නුවර නව ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව සදහන්.
Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර ලෙස යොදා ගෙන තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේ ලාස් වේගාස්හි පැවැති Formula 1 Grand Prix තරගාවලිය සදහා යොදා ගෙන තිබූ ප්‍රේක්ෂකාගාරයි. ඒ අනුව ක්‍රීඩාංගනයට යොදා ගත් ප්‍රේක්ෂකාගාර ද යළි ලාස් වේගාස් වෙත ප්‍රවාහනය කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක පමණ (රුපියල් කෝටි 900 ක් පමණ) මුදලක් වැය වී තිබූ බව සදහන්.
ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු වන Damian Hough මෙම ක්‍රීඩාංගනයේ තණතීරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ අතර, එම තණතීරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ වැඩි කොටසක් සිදු කර තිබුණේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහී දී යි. අනතුරුව එය නිව් යෝර්ක් නුවර වෙත ප්‍රවාහනය කෙරුණා.
කෙසේ වෙතත්, එම තණතීරු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ දී දැඩි කතාබහක් නිර්මාණය වූ අතර, අදාළ තණතීරු විස්සයි 20 තරග සදහා සුදුසු නොමැති බවයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දුන්නේ.
Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති පළමු තරග දෙකෙන් පසුව එම තරග සදහා භාවිතා කර ඇති තණතීරු දෙක ප්‍රමිතියෙන් තොර බවට නිවේදනයක් නිකුත් කරමින් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ද පිළිගත්තා.
ඒ අනුව පවතින ගැටලු සහගත තත්ත්වයට පිළියමක් යෙදීම සදහා කටයුතු කරමින් සිටින බවට අයි.සී.සීය සදහන් කළ නමුත්, අවසන් තරග හය සදහා ද යොදා ගැණුනු තණතීරු පිතිකරුවන්ට එතරම් යෝග්‍ය වන ආකාරයක් දැක ගත හැකි වූයේ නැහැ.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී තරග 8ක් පැවැති අතර, පළමු තරගය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ජූනි 3 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 77 කට දැවී ගියා. දකුණු අප්‍රිකාව එම ඉලක්කය පසු කර ගියේ ද 17 වැනි පන්දුවාරයේ දී යි.
මෙම ක්‍රීඩාංගනයේ දී ලකුණු 120 ඉක්මවා වාර්තා වූයේ අයර්ලන්ත-කැනඩා තරගයේ දී පමණයි. ජූනි 7 වැනිදා පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැනඩාව කඩුලු 7ක් දැවී ලකුණු 137 ක් රැස් කළ අතර, අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 125 ක් පමණයි.
බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම ජූනි 9 වැනිදා පැවැත්වුණා. ඉන්දියාව ක්‍රීඩා කළ පුහුණු තරගය මෙන්ම මූලික වටයේ තරග තුනම පැවැත්වුණේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී යි.