කොදෙව් දේශයේ පළමු තරගාවලි ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

Match Preview

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද(29) ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දින කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එතරම් දක්ෂතා නොදැක්වුවද තරගය ජය ගැනීම සදහා යම් අවස්ථාවක් විවිර කර ගැනීමට ඔවුන් සමත් වුණේ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංකගේ ශතකය පදනම් කර ගනිමින්.

කෙසේ වෙතත්, කොදෙව් දෙවැනි ඉනිමේ දී පිතිකරුවන් සංයමයෙන් යුතුව පන්දුවට පහරදීම හමුවේ ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා.

ඒ අනුව අද ආරම්භ වන තරගය දෙරටටම වැදගත් වන්නේ මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වන බැවින්.

ශ්‍රී ලංකාව මෙතෙක් එරට දී කිසිදු ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නොමැති අතර, දෙවැනි ටෙස්ට් තරගය ජයගතහොත් කොදෙව් දේශයේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනවා.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 21ක් පවත්වා ඇති අතර, ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

තරග 4ක් කොදෙව්වන් ජය ගනිද්දී තරග 8ක් අවසන් වුණේ ජය පැරදුමකින් තොරවයි.

මෙවර කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් ජය ගෙන ඇත්තේ එක් 20යි 20 තරගයක් පමණයි.

සෙසු 20යි 20 තරග 2 සහ එක්දින තරග තුනම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ඒ අනුව මෙම තරග සංචාරය ගෞරවාන්විතව අවසන් කර ගැනීමටනම් මෙම තරගයේ ජයග්‍රහනය හෝ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු නිසැකය.

අද ආරම්භ වන තරගය සදහා ඇතැම්විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොවීමට ද ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගයේ දී දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ඔහු වෙනුවට රොෂේන් සිල්වාට අවස්ථාවක් ලබා දීමට ද ඇතැම් විට ඉඩ පවතිනවා.

කෙසේ වෙතත්, ඇන්ජෙලෝ මැතිව්ස් ද කණ්ඩායමේ නොමැති වීම හේතුවෙන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස චන්දිමාල්ගේ සේවය මෙම තරගය සදහා ද යොදා ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කරනු ඇති.

එමෙන්ම දේශීය ක්‍රිකට් පිටියේ මුල් පෙල පිතිකරුවෙකු වන පැතුම් නිස්සංකට ද අංක 6 ස්ථානය වෙනුවට ඉහළ ස්ථානයක පන්දුවට පහරදීමේ අවස්ථාව මෙම තරගයේ දී හෝ හිමි වන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඉතා වැදගත් වනු ඇති.

මේ අතර, සුරංග ලක්මාල් තවත් කඩුලු 6ක් දවා ගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 4 වැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණෙනවා.

අද තරගය සදහා බොහෝ විට පළමු තරගයට ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

Comments (0)
Add Comment