බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු තරග රටාවන්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ඩැරන් සැමී පත් කර තිබෙනවා.
පසුගිය වසරේ සිට මෙතෙක් එරට එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ටෙස්ට් කණ්ඩායමේ ද පුහුණුකරු ධූරය භාර ගැනීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Andre Coley වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.
සැමීගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව්වන් 2023 වසරේ මැයි මාසයේ සිට එක්දින තරග 28 කින් තරග 15 ක් ද, විස්සයි 20 තරග 35 කින් තරග 20 ක් ද ජය ගත්තා.
ද්විපාර්ශ්වික එක්දින තරගාවලි 7ක් අතරින් කොදෙව්වන් ජය ගත් තරගාවලි ගණන 4ක්. විස්සයි 20 තරගාවලි අතරින් ඔවුන් ඉන්දියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව(දෙවරක්) පරදා විස්සයි 20 තරගාවලි 4ක් ජයක් ගත් අතර, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව හා එංගන්තය හමුවේ තරගාවලි පරාජයට පත් වුණා.
මේ අතර, 2023 මැයි මාසයේ සිට Coley ගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව් ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරග 7 ක් පරාජයට පත් වුණා. ජය ගත්තේ තරග දෙකක් පමණක් වන අතර, තරග දෙකක් ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොදෙව්වන්ට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.
මේ අතර, කොදෙව් ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස Chris Dehring පත් කර තිබෙනවා. ඔක්තෝබර් මාසයේ දී ධූරයෙන් ඉවත් වූ Johnny Grave වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.