කෙන්ට් ශූරතාවය දිනද්දී ලොවම කතා බහට ලක් කෙරූ අමුතු ලකුණු 6

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රමුඛතම දේශීය 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වන Vitality Blast තරගාවලියේ මෙවර ශූරතාවය දිනා ගැනීමට කෙන්ට් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සමර්සෙට් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමින්.

බර්මිංහැම්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළා. Jordan Cox පන්දු 28කින් නොදැවී ලකුණු 58යි. පන්දු යැවීමේ දී Roelof van der Merwe ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සමර්සෙට් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. Will Smeed ලකුණු 43ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ජෝ ඩෙන්ලි ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලුවා.

කෙසේ වෙතත්, මෙම තරගයේ ප්‍රතිපලයටත් වඩා ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ මෙම තරගයේ දී වාර්තා වූ එක් හයේ පහරක් පිළිබදවයි.

සැබවින්ම එය පහරක් යැයි සදහන් කළ හැකි දැයි ද ප්‍රශ්නයක්. ඊට හේතුවනම් පන්දුවට පහර දීමෙන් පසුව එම පන්දුව හයේ සීමාව ඉක්මවා නොයාමයි. නමුත්, ඊට ලකුණු 6ක් ලබා ගැනීමට පිතිකරුවා සමත් වුණා.

සැබවින්ම ලකුණු 6ක් ලබා ගත්තා නොව ලකුණු 6ක් පිරිනැමීමට විනිසුරුවන්ට සිදු වූවා යැයි කිවහොත් එය නිවැරැදියි. ඒ, පන්දු රකින්නන් දෙදෙනෙකු අතින් සිදු වූ ඉතා දුර්ලභ අත්වැරදීමක් හේතුවෙන්.

මෙම සිදු වීම වූයේ සමර්සෙට් ඉනිමේ 11 වන පන්දුවාරයේ 2 වන පන්දුවටයි. පිතිකරණයේ නිරත වී සිටියේ Will Smeed. ඔහු එල්ල කළ දැවැන්ත පහරකින් පසුව පන්දුව හයේ සීමාව කරා යමින් පැවතුණා.

කෙසේ වෙතත්, පන්දුව හයේ සීමාව පසු කර යාමට සමත් නොවූ අතර, Jordan Cox විසින් උඩ පන්දුවක් ලෙස එය රැක ගනු ලැබුවා.

Jordan Cox අසලටම පැමිණ උඩ පන්දු රැක ගැනීමට Bell-Drummond ද උත්සාහයක නිරත වූ නමුත්, ඔහු අවසන් මොහොතේ එම අදහස අත්හැරියේ Jordan Cox ට උඩ පන්දුව රැක ගැනීමට ඉඩ ලබා දෙමින්.

සියලු දෙනා එම අවස්ථාවේ දී සිතුවේ එය දැවී යාමක් බවයි.

කෙසේ වෙතත්, උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේ දී Bell-Drummond හා Jordan Cox අතර යම් ශාරීරික ගැටීමක් සිදු වූ අතර, Bell-Drummond ගේ ශරීරය හතරේ සීමාවේ ද එම අවස්ථාවේ ගැවී තිබූ බව පුනරූපනවලින් දක්නට ලැබුණා.

ඒ අනුව ක්‍රිකට් නීති රීති ප්‍රකාරව පන්දුව හයේ සීමාව පසු කර නොතිබුණ ද, එය ලකුණු 6ක් වාර්තා වූ පන්දුවක් ලෙසයි විනිසුරුවන් විසින් සටහන් කළේ. ඒ, ලබා ගත් උඩ පන්දුව ද අපතේ යවමින්.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment