කෙටි පන්දු සැලසුමට හසු වූ ශ්‍රී ලංකාවට ඉනිමක දරුණු පරාජයක්

Match Report

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ සිව්වැනි දිනය අද වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 358 ක්.

දිනය ආරම්භ කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටි නමුත්, මෙන්ඩිස්ට අද දිනයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියා.

අනතුරුව දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 126 (181) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. චන්දිමාල් පන්දු 92 කින් ලකුණු 62 ක් වාර්තා කිරීමට සමත් වුණේ හතරේ පහර 8 ක් ද සමගින්. ධනංජය ද සිල්වා පන්දු 185 කින් ලකුණු 98 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. හයේ පහරක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක ලකුණු 39 යි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න ලකුණ‍ු 51 ක් ද ලබා ගත්තා.

කසුන් රාජිත පන්දු 110 කින් ලකුණු 20 ක් ද, ප්‍රභාත් ජයසූරිය පන්දු 45 කින් ලකුණු 2 ක් ද, ලහිරු කුමාර පන්දු 45 කින් ලකුණු 7 ක් ද රැස් කරමින් නවසීලන්තයේ ජයග්‍රහනය ප්‍රමාද කිරීමට දැඩි උත්සාහයක නිරත වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන් රැසක් කෙටි පන්දු යොමු කිරීමේ නවසීලන්ත සැලසුමට හසු වෙමින් කඩුලු පූජා කිරීම නවසීලන්තයේ ජය තරමක් පහසු කිරීමට හේතු වුණා.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් බ්ලයාර් ටික්නර් හා ටිම් සවුති කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 164 ක් පමණයි.

big 3
Comments (0)
Add Comment