නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.
ඒ, එංගලන්තයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ දී පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ කාර්යය ඉටු කිරීමට මේ මොහොතේ නොහැකිව තිබීම පදනම් කර ගනිමින්.
ඒ අනුව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළහොත් ඔහු අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
සධීර සමරවික්‍රම ද කඩුලු රකින පිතිකරු ලෙස අංක 7 ස්ථානය වෙනුවෙන් සලකා බලමින් සිටින බවයි newswire වෙබ් අඩවියට අදහස් දක්වමින් උපුල් තරංග සදහන් කර ඇත්තේ.
මේ අතර, මෙතෙක් අංක 7 ස්ථානයේ පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස් නිමා වූ එංගලන්ත සංචාරයේ දී දැක් වූ ඉහළ දක්ෂතා ද පදනම් කර ගනිමින් නවසීලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී ඔහුව පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයකට උසස් කිරීමට ද මේ වන විට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ඇතැම් විට කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට යෙදවීමත් සමග පුරප්පාඩු වන අංක 3 ස්ථානය කමිදු මෙන්ඩිස්ට හිමි වීමට ද ඉඩක් පවතිනවා.
මේ අතර, එළඹෙන 18 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඕෂද ප්‍රනාන්දු ද කැදවා ඇති බවට තොරතුරු වාර්තා වුණා.