ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසක ඇති වූ ආබාධයේ ශල්‍යකර්ම වියදම දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව සමඟ සාකච්ඡා කර, දිගු කලක සිට පවතින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය සුව කර ගැනීම සඳහා සති 12ක පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාවට නැංවූ බවයි.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාට උපදෙස් ලබා දී තිබුණේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් වැළකී ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ යෝජිත ‘පුනරුත්ථාපන වැඩසටහනට’ සහභාගී වන ලෙසයි.
පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධයට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් ජනිත්ට දැනුම් දී තිබූ බව ද සදහන්.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී, ඔහු 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමෙන් පසුව පවා, එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව කුසල් ජනිත් පෙරේරා පුනරුත්ථාපනය කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම උත්සාහයන් ද නොතකා, ඔහු අඛණ්ඩව පුනරුත්ථාපන කාර්යයට සහභාගී වීමට අපොහොසත් වූ බවත්, කුසල් ජනිත් අවසන් වරට පුනරුත්ථාපන වැඩසටහන සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පෙනී සිට ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනිදා බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.
එබැවින්, පුනරුත්ථාපන වැඩසටහන සඳහා ඔහුගේ කැපවීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට සිදු වූ බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
තත්ත්වය එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාට දන්වා ඇත්තේ ඔහුගේ සැත්කමට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට සූදානම් බවයි.