ශ්‍රී ලංකා තරග සංචාරයේදී ලද තරගාවලි පරාජයන්ගේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ආරම්භ වූ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති තුන්වෙනි හා අවසන් එක් දින තරඟයෙන් කඩුලු අටක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.
බාර්බඩෝස් හි පැවැති තරඟය ජය ගැනීම සඳහා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තයෙන් ලද ලකුණු 264ක ඉලක්කය කොදෙව්වන් පන්දුවාර 43ක් අවසානයේ කඩුලු දෙකක් දැවී සිටියදී පහසුවෙන් පසු කර ගියා.
බ්‍රෙන්ඩන් කිංග් පන්දු 117 කින් ලකුණු 102 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 13ක් සමගින්.
කේසි කාර්ති පන්දු 114 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128 ක්. හයේ පහර දෙකක් සහ හතරේ පහර 15ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගුණු සම්බන්ධතාවය ලකුණු 209(203) ක්.
පන්දු යැවීමේදී රීස් ටොප්ලි හා ජෙමී ඔවර්ටන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 263ක් ලබා ගත්තේ කඩුලු අටක් දැවී සිටියදීයි.
ඒ, ඔවුන්ගේ පළමු කඩුලු හතර ලකුණු 24 ක් තුළ බිඳ වැටුණු පසුබිමකයි.
පිල් සෝල්ට් ලකුණු 74 ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කළා.
ඩෑන් මෝස්ලි ලකුණු 57ක්, සෑම් කරන් ලකුණු 40 ක්, ජොෆ්‍ර ආචර් නොදැවී ලකුණු 38 ක් හා ජෙමී ඔවර්ටන් ලකුණු 32 ක් රැස් කරමින් එංගලන්ත පසු පෙළ ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී මැතිව් ෆෝර්ඩ් කඩුලු 3ක් බිද හෙලූ අතර, අල්සාරි ජෝසප් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.