‘කාලය දැන් ඇවිල්ලා’ : දසුන්ගේ ප්‍රකාශයෙන් උණුසුම් වූ ක්‍රිකට් ලෝකයට මහේලගෙන් ප්‍රතිචාර

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද(1) පැවැත්වෙනවා.

ඒ, තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතරයි.

තරගාවලියේ මූලික වටයේ 5 වැනි තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට ඇෆ්ඝනිස්තානය හා ඉන්දියාව සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ඇති අතර, අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් 2018 ආසියානු කුසලානයේ දී මෙන් ඔවුන්ට මෙවර තරගාවලියේ දී ද පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වනවා.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පසුගිය වසර කිහිපයේ දී පැවැති තරග අතරතුර තුර දී වූ විවිධ සිදුවීම් මෙන්ම සිදු කෙරුණු විවිධ ප්‍රකාශ හේතුවෙන් අද තරගය බොහෝ උණුසුම් මුහුණුවරක් ද ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තානය හා සැසදීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගය පහසු තරගයක් බවත්, බංග්ලාදේශය සතුව සිටින්නේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක දරුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

දසුන් ශානක කළ ප්‍රකාශයට වචනයෙන් පිළිතුරු ලබා දීමට තමා සූදානම් නොමැති බවත්, ඒ වෙනුවට පිටියේ දී තම කණ්ඩාමේ දක්ෂතාවයන් ඔප්පු කිරීමට සූදානමින් සිටින බවත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මෙහෙදි හසාන් ඊට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කියා සිටියා.

අද තරගයට පෙර ඊයේ(31) පැවැති මාධ්‍ය හමුවේ දී ද බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ කලෙඩ් මහ්මුද්ගෙන් ද මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නායකයා කළ අදාළ ප්‍රකාශය පිළිබද විමසා සිටියා.

“දසුන් ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා මම දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඇෆ්ඝනිස්තානය සතුව හොද 20යි 20 කණ්ඩායමක් ඉන්නවා, ඒ නිසා එයා එහෙම කීවා වෙන්න පුලුවන්. එයා කියපු අනිත් දේ තමයි අපිට ඉන්නේ පන්දු යවන්නන් (ලෝක මට්ටමේ) දෙදෙනෙකු (ශකීබ් සහ මුස්ටර්ෆිසුර්) පමණක් කියලා. ඇත්ත වශයෙන්ම, මම ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙක් (ලෝක මට්ටමේ) දකින්නේ නැහැ. බංග්ලාදේශයට අඩුම තරමේ දෙදෙනෙකුවත් ඉන්නවා. ඒක හොද දෙයක්” යනුවෙන් එහිදී ඔහු පවසා සිටියා.

මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු, හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දක්ෂතා පෙන්වීමට සහ පිතිකරුවන්ට ඔවුන් කවුරුන්දැයි ක්‍රීඩාංගනයේ දී පෙන්වීමට කාලය එළඹ ඇති බව පෙනේ.” යනුවෙන් මහේල සදහන් කළා.

big 3
Comments (0)
Add Comment