ක්‍රීඩා සමාජවලට ලබා දෙන තරගාවලි දීමනා මිලියන 2.5කින් ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩා සමාජ සඳහා ලබා දෙන වාර්ෂික තරඟාවලි දීමනාව ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ක්‍රීඩා සමාජයක් සදහා ලබා දෙන දීමනාව මෙම වසරේ සිට රුපියල් මිලියන 2.5කින් ඉහළ නැංවීමටයි ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙලෙස දීමනා ඉහළ නැංවීමට ගත් තීරණයත් සමග ක්‍රීඩා සමාජයක් සදහා ලැබෙන වාර්ෂික දීමනාව රුපියල් මිලියන 27.5 ක් දක්වා ඉහළ යනු ඇති.

රට තුළ පවතින වත්මන් ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලි දීමනා ලෙස රුපියල් මිලියන 715 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.

මේ අතර, තම ක්‍රීඩා සමාජය සතුව ක්‍රීඩාංගණයක් ඇති ප්‍රධාන සමාජ 09කට රුපියල් මිලියන 5 බැගින් ලබාදීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රීඩාංගන හා යටිතල පහසුකම් නඩත්තු කිරීමට සහ වැඩිදියුණු කිරීමට මෙම දීමනාව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

Comments (0)
Add Comment