අළුබදුන තරගාවලිය අතරතුර ලැබුණු විවේක කාලයේදී, නූසා (Noosa) වෙරළබඩ නගරයේ රැඳී සිටිමින් එංගලන්ත ක්‍රීඩකයින් අධික ලෙස මත්පැන් පානය කළ බවට පලවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග අතරතුර එංගලන්ත ක්‍රීඩකයින් දින හතරක කාලයක් ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ ගත කර තිබුණා.
එහිදී ඔවුන් වැඩි කාලයක් මත්පැන් පානය කර තිබූ බවට මාධ්‍ය වාර්තා පලව තිබූ අතර, දෙවැනි ටෙස්ට් තරගය පැවැති බ්‍රිස්බේන්හීදී ද ක්‍රීඩකයින් දින දෙකක් මත්පැන් පානය කර තිබුණා.
එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් අධික ලෙස මත්පැන් පානය කර හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ඇඩිලේඩ්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය තරමක් ඉහළ දක්ෂතා දැක්වුවද, තරග 3-0ක් ලෙස මේ වන විටත් තරගාවලිය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. අළුබදුන යළි තමන් සන්තකයේම රදවා ගැනීමට ඔවුන්ට වැය වූයේ ක්‍රීඩා කළ දින 11ක් පමණයි.
“අතිශයෝක්තියට නංවා ඇති කරුණු වලට වඩා, එහි සැබෑ තත්ත්වය කුමක්දැයි අපි සොයා බලනවා,” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ රොබ් කී බීබීසී පුවත් සේවයට සදහන් කළා.
“සමහර වෙලාවට පුවත්පත් සිරස්තල නොමඟ යවන සුළු විය හැකියි. නමුත් ක්‍රීඩකයින් දින හයක් දිගටම මත්පැන් පානය කළා කියන පුවත් ඇත්තක් නම්, එය කිසිසේත්ම පිළිගත නොහැකි දෙයක්.”
සමාජ මාධ්‍යජාලාහි හුවමාරු වන වීඩියෝවේදී ඩකට්ගෙන් යම් අයෙකු ඔහුට යළි නිවසට යන මාර්ගය මතක දැයි අසන අතර, ඔහු “නැත” යැයි පවසා පසුව අසභ්‍ය වචනයෙන් බැණ වදින ආකාරයක් දක්නට ලැබෙනවා.
- වීඩියෝව නැරඹීමට මෙතන ක්ලික් කරන්න
මෙම වීඩියෝව සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවත්, ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් තමන් දැඩි අපේක්ෂාවන් තබා ඇති බවත් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
2017-18 ඕස්ට්‍රේලියානු සංචාරයේදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ගේ හිසට මත්පැන් හැලීම හේතුවෙන් ඩකට්ව එංගලන්ත ලයන්ස් සංචිතයෙන් ඉවත් කිරීමට ද මීට පෙර පියවර ගෙන තිබූ පසුබිමකයි යළිත් මෙවැනි සිද්ධියකට ඔහුට මුහුණ දීමට සිදුව ඇත්තේ.
මෙම නූසා සංචාරය සැලසුම් කර තිබුණේ තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිට බව සදහන්.
එංගලන්තය මුල් තරග දෙකම පරාජය වී සිටියද, සැලසුම් කළ පරිදි මෙම විවේකය ලබා දීමට පියවර ගෙන තිබුණා. මුළු සංචිතයම නූසා හි රැදී සිටියද, රොබ් කී එම අවස්ථාවේ රැඳී සිටියේ ක්වීන්ස්ලන්තයේ වෙනත් ප්‍රදේශයකයි.
මෙම විවේක කාලයේදී මාධ්‍ය අවධානය යොමුවනු ඇතැයි ක්‍රීඩකයින්ට පෙර සිටම අනතුරු අඟවා තිබූ නමුත්, ඔවුන් නගරයේ ප්‍රධාන වීදියේ මත්පැන් අළෙවි සැලක් අසල මත්පැන් පානය කරන අයුරු කැමරාවල පටිගත වී තිබුණා.