ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ඉහළ යාමට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ නොසැලකිල්ල හේතු වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කර සිටියා.
2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව විගණකාධිපතිවරයා විසින් සිදු කළ විශේෂ විගණන වාර්තාව පිළිබද කරුණු විභාග කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ(14) පස්වරුවේ කැදවූ අවස්ථාවේ දී යි ඔහු ඒ බව කියා සිටියේ.
ලෝක කුසලාන තරගාවලිය හා ආසියානු කුසලාන තරගාවලිය අහිමි වූ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට පළමුව පැවතියේ පළමු ස්ථරයේ (grade 1 hamstring tear) ආබාධයක් බවත්, පසුව එය තෙවන ස්ථරය දක්වා වර්ධනය වූයේ මෙම නොසැලිකිලිමත් බව නිසා බවත් මන්ත්‍රීවරයා සදහන් කළා.
එමෙන්ම මෙම වෛද්‍ය කමිටුව විසින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට වසර 7ක් පුරා පාදයේ ආබාධයකට ප්‍රතිකාර කළ නමුත්, ඔහුට පැවතියේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් බවත් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
“ලංකාවේ ඉන්න අඩි 6යි අඟල් 4ක් උස හොඳම වේග පන්දු යවන ළමයෙක්. අවුරැදු 07ක් ඒ ළමයව විනාශ කළා ඔබතුමාලගේ ඔය තියෙන පැනල් එක. ඔය පැනල් එක කරැණාකරලා ඉවත් කරන්න.” දයාසිරි ජයසේකර මහතා සදහන් කළා. “මොකද හේතුව ඔතනින් තමයි මේ වැඩේ දැන් පටන් අරන් තියෙන්නේ. අද අපේ ඉන්න ක්‍රීඩකයින් පස් දෙනෙක් මේ තරඟ සංචාරයෙත් ආපසු ආවා. මේ කියන ටී 20 එකේදීත් අරන් යනවා ඔය කියන පැනල් එකේ කට්ටිය. වෛද්‍යවරු අරගෙන ගියානෙ. මම ඉල්ලන්නේ ඔබතුමන්ලා ලක්ෂ ගණන් ගෙවලා තියාගෙන ඉන්නවානේ පැනල් එකක්. ඒ පැනල් එක තමයි අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව විනාශ කරලා තියෙන්නේ.
“කරැණාකරලා යම් නියෝගයක් දෙන්න ලේකම්තුමා සහ අධ්‍යක්ෂ ජනරාල්ට. අපිට තියෙනවා හොඳ ස්පෝට්ස් මෙඩිසින් යුනිට් එකක්. ඒක හරහා මේ ක්‍රියාදාමය කරන්න කියලා. ඒ කියන්නේ 30 නම් ඉන්නේ ඒ 30 ලියාපදිංචි කරලා මේ අයට අඛණ්ඩව පරික්ෂා කරන්න ඉඩ දෙන්න. එහෙම නොදීමේ ප්‍රතිපලය තමයි අද මේ ඇතිවෙලා තියෙන්නේ. ඔබතුමාලට මම ඕක දිගටම කිව්වා. හැබැයි ඔබතුමන්ලා වෙනම පැනල් එකක් තියාගෙන ඉන්නවා. මම කියන්නේ නෑ ඒ ඩොක්ටර්ගේ නම මොකක්ද කියලා. ඔවුන් දීපු බෙහෙත්වල ප්‍රතිපලය තමයි අවසානයේදී දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ.”
තවද වන්ෂොට් නමින් හදුන්වන වෛද්‍යවරුයෙකු සම්බන්ධයෙන් ද මෙහිදී කෝප් කමිටුව තුළ කතා බහට ලක් වුණා.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළේ විවිධ අංශ පිළිබද විශේෂඥයින් වන වෛද්‍යවරුන් තිදෙනෙකු සිය වෛද්‍ය කමිටුවේ සිටින බවයි.
අනතුරුව දයාසිරි ජයසේකර මහතා යළි අදහස් දක්වා සිටියා.
“එයාලා යොදා ගන්නවා වේදනානාශක. වන්ෂොට් කියන්නේ වේදනානාශක ගහනවා. කකුලක් ආබාධ වුණාම එයාව ගෙනල්ලා පුනරුත්තාපනය කරන්නේ නෑ ඔය වන්ෂොට් තමයි ඩෝස් එක දෙන්නේ. දීපු ගමන් ඒ ළමයට තව මාසයක් ගහන්න පුලුවන්. එතකොට මොකද වෙන්නේ tear එක තව ඇරෙනවා. ක්‍රිකට් එක වැටෙන එකට ඕක තමයි එක ප්‍රධාන හේතුවක්.ළමයින්ට ගහන්න බෑ.”