ක්‍රිකට් නීති 3 ක් අයි.සී.සීය සංශෝදනය කරයි ; Free Hit නීතියේත් වෙනසක්

ජූනි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් තරග කොන්දේසි 3 ක් සංශෝදනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටු විසින් ලබා දුන් නිර්දේශ අයි.සී.සී ප්‍රධාන විධායක කමිටුව විසින් අනුමත කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව මින් ඉදිරියට පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුවට යම් තීරණයක් ලබා දීමට යොමු කිරීමේ දී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය (soft signal) ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

උදාහරණයක්‌ ලෙස මෙතෙක් පැවැති නීති ප්‍රකාරව නිසි අයුරින් උඩ පන්දුවක් ලබා ගැනීම පිළිබද සැක මතු වන අවස්ථාවකදී පිටියේ විනිසුරුවන් විසින් එම තීරණය තෙවන විනිසුරුට යොමු කරන්නේ අදාළ උඩ පන්දුව රැක ගත්තේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් දක්වන මතය ද ලබා දෙමින්.

ඒ අනුව තෙවන විනිසුරුට පුනරූපනවලින් අදාළ උඩ පන්දුව නිසි අයුරින් රැක ගත්තේ ද යන්න සම්බන්ධයෙන් නිසි අයුරින් තීරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවහොත් , පිටියේ විනිසුරුවන් ඒ් පිළිබද දරනු ලැබූ මතය අවසන් තීරණය බවට පත් කිරීමට තෙවන විනිසුරු කටයුතු කරනවා.

කෙසේ වෙතත්, ජූනි පළමු වැනිදා සිට එලෙස පිටියේ විනිසුරුවන් විසින් සිය මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බැවින් තෙවන විනිසුරුට තමන්ට ලැබෙන සාක්ෂි මත පදනම්ව සිය තීරණය ලබා දිය හැකියි.

මේ අතර, අධි අවදානම් සහිත අවස්ථාවලදී හිස් ආවරණ (helmets) පැළදීම අනිවාර්ය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,

  • පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට,
  • කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේ දී,
  • කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටියදී,

යන අවස්ථාවලදී හිස් ආවරණ පැළදීම අනිවාර්යයි.

මේ අතර, නිපන්දුවකින් පසුව ලබා දෙන නිදහස් පහරට (Free Hit) අදාළ නීතියක් ද සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජූනි පළමු වැනිදායින් පසුව නිදහස් පහරට අදාළ පන්දුවේ දී පිතිකරුවෙකු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ද, එම පන්දුව සදහා ලබා ගන්නා ලකුණු පිතිකරුවාට හිමි වනවා. *(කෙසේ වෙතත්, මෙම නීති සංශෝදනය මේ වන විට යළි හකුලා ගැනීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා)

Comments (0)
Add Comment