ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග” වැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශණ වැඩසටහනේ පළමු අදියරේ දී දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකු හදුනා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශණ වැඩසටහන පසුගිය 18 වැනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙනුයි ආරම්භ වුණේ.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයක් අනුවයි.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ගමින් ගමට යන මෙම දක්ෂතා ගවේෂණ ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා හඳුනා ගැනීම බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද සමාරම්භක වැඩසටහන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07 ක් ස්ථාපිත කෙරෙන අතර, දක්ෂතාවයෙන් හෙබි ක්‍රීඩකයින් තෝරා වයස අවුරුදු 13, 15, 17, 19 සහ 23 න් පහළ යන වයස් කාණ්ඩයන්හි බාලක සහ බාලිකා වශයෙන් කණ්ඩායම් ගත කෙරෙනෙවා.
සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන පසුගිය 24 වැනිදා දක්වා වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඒ, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් 25 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ යි.
මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී බාලක ක්‍රීඩකයින් 170 ක් සහ බාළිකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු වශයෙන් සමස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකු තෝරා ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනා අදාළ ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු කෙරෙනවා.