සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මෙවර ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත සියලු තරග (අවසන් තරගය හැර) අවසන් කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
කේප් ටවුන්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ කඩුලු 10කින්. තරගය ජය ගැනීම සදහා සිව්වැනි දිනයේදී ඔවුන්ට ලකුණු 58 ක ඉලක්කයක් හිමි වූ අතර, එය පන්දුවාර 7.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට දකුණු අප්‍රිකාවට හැකි වුණා.
ඩේවිඩ් බෙඩින්ග්හැම් නොදැවී ලකුණු 47(30) ක් හා ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 14(13) ක් රැස් කළා.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 213 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 478 ක්. ඒ, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 615 ට පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 194 කට සීමා වූ පසුබිමකයි.
ශාන් මසූඩ් නොදැවී ලකුණු 102 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, ඔහු ලකුණු 145 ක් ලබා සිටියදී දැවී ගියා. ඔහුගේ ආරම්භක සගයා වූ බාබර් අසාම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 81 ක්. සල්මන් ආගා ලකුණු 48 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 41 ක් රැස් කළා. ආමර් ජමාල් ලකුණු 34 යි.
පාකිස්තාන පිතිකරු සයීම් අයුබ් මෙම තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව මෙම තරගයෙන් ඉවත් කළ බැවින් පාකිස්තානය එක් පිතිකරුවෙකු නොමැතිවයි ඉනිම් දෙකම ක්‍රීඩා කළේ.
පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. මාර්කෝ යැන්සන් කඩුලු දෙකක් බිද හෙලුවා.
දකුණු අප්‍රිකා පළමු ඉනිමේදී ලකුණු 259 ක් ලබා ගත් රයන් රිකල්ටන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා කඩුලු 10ක් දවා ගනිමින් ලකුණු 80 ක් ද රැස් කළ මාර්කෝ යැන්සන් තරගාවලියේ වීරයා ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.
South Africa’s win in Cape Town ensures that they’ll finish as the leaders of the #WTC25 standings 👊#SAvPAK pic.twitter.com/ROjzzNwaMx
— ICC (@ICC) January 6, 2025