ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ගාල්ලේ දී ආරම්භ වුණා.
පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.
උස්මාන් කවාජා නොදැවී ලකුණු 47ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 25කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.
මර්නස් ලබුෂේන් ලකුණු 13ක් ලබා සිටියදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේද රමේෂ් මෙන්ඩිස් යොමුකළ පන්දුවක් හමුවේයි.
ස්ටීවන් ස්මිත් ලකුණු 6කට දුවද්දී දැවී ගියා. ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 6යි.
හෙඩ් හා කවාජා ස්ටම්ප් කිරීමකට ලක් කර ගනිමින් දවා ගැනීමට ලද අවස්ථා දෙකක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 212ක්.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් ලබා ගත්තා. පන්දු 59කින් ඔහු වාර්තා කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 6ක් ඇතුළත්.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් හා පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස් කළා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22යි.
ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 97 දී බිද වැටුණු අතර, අනතුරුව දික්වැල්ල හා මැතිව්ස් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 42(41)ක සබදතාවයක් ගොඩ නැගුණා.
මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්, දික්වැල්ල සමග එක් වී 7 වැනි කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 54(64)ක්.
පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් බිද හෙලූ අතර, මිචෙල් ස්වෙප්සන් කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 114ක්.