ඔස්ට්‍රේලියා සංචාරයට නම් කළ ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන්නාට කොරෝනා

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටින වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් නිර්මාණය කර ඇති ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින අතර, එහිදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදීයි (PCR) ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇත්තේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නුවන් තුෂාර හා දිල්ෂාන් ෆොන්සේකා මේ වන විට හුදකලා වී සිටින අතර, ඔවුන් ලබන 10 වැනිදා යළි ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 3 වනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරග ලබන 11 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Comments (0)
Add Comment