ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ පළමු දිනය අද (1) ඉන්දෝර් හී දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156 ක්.
පීටර් හැන්ඩ්ස්කොම්බ් නොදැවී ලකුණු 7 ක් ද, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 6 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉනිම ආරම්භ කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 9 කට දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා උස්මාන් කවාජා හා මර්නස් ලබුෂේන් අතර ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.
ලබුෂේන් ලකුණු 31 කට දැවී ගියා. කවාජා රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. නායක ස්ටීවන් ස්මිත් දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි.
දැවී ගිය කඩුලු හතරම දවා ගත්තේ රවීන්ද්‍ර ජඩේජා විසින් වීම කැපී පෙනෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 109 ක් පමණයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 47 ක්.
ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 27 කට සීමා කරමින් නායක රෝහිත් ෂර්මා ලකුණු 12 කට දැවී ගියේ මැතිව් කුහ්නෙමන්ගේ පන්දුවක් හමුවේයි. අනතුරුව ෂුම්බන් ගිල් ලකුණු 21 කට දවා ගැනීමට ද කුහ්නෙමන් සමත් වුණා.
චෙටස්වර් පුජාරා එක් ලකුණකටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 4කටත්, ෂ්රෙයස් අයියර් ලකුණු නොලබාත්, විරාත් කෝලි ලකුණු 22 කටත්, කේ එස් භාරත් ලකුණු 17 කටත් දැවී ගියා. ආර් අශ්වින් ලකුණු 3යි. උමේෂ් යාදව් ලකුණු 17 ක් රැස් කළ අතර, මොහමඩ් සිරාජ් ලකුණු ලබා ගැනීමට පෙර දුවද්දී දැවී ගියා. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 12 යි.
පන්දු යැවීමේ දී මැතිව් කුහ්නෙමන් ලකුණු 16 කට කඩුලු 5 ක් හා නේදන් ලයන් ලකුණු 35 කට කඩුලු 3 ක් බිද හෙලුවා.