ඔස්ට්‍රේලියාව ලකුණු 142 ක් ඉදිරියෙන්

Day 2 Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සිකුරාදා (7) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් එක් ලකුණකට දැවී ගියේ ස්ටුවට් බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේයි. ඔහු විසින් වෝනර්ගේ කඩුල්ල දවා ගත් 17 වැනි අවස්ථාව එය වීම විශේෂත්වයක්.

මර්නස් ලබුෂේන් ලකුණු 33 කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 2කටත්, උස්මාන් කවාජා ලකුණු 43 කටත්, දැවී ගියා. ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 18 ක් හා මිචෙල් මාෂ් නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මොයීන් අලී විසින් ලබුෂේන්ගේ හා ස්මිත්ගේ කඩුලු 2 දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් හා ක්‍රිස් වෝක්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලීඩ්ස්හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 237 ක්.

බෙන් ස්ටොක්ස් ලකුණු 80 ක් ලබා ගත් අතර, සැක් ක්‍රව්ලි ලකුණු 33 ක් ද, මාර්ක් වුඩ් ලකුණු 24 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 91 ක් ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා. ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 85 ක් තුළ බිද වැටුණු පසුබිමක සුපිරි ශතකයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට මිචෙල් මාෂ් සමත් වුණේ පන්දු 118 කින් ලකුණු 118 ක් රැස් කරමින්. මාර්ක් වුඩ් සුවිශේෂි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 142 ක්.

big 3
Comments (0)
Add Comment