ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T 20 සංචිතයට භානුක, නුවනිදු හා මතීෂ නම් කෙරේ

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(1) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංක යළි ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා.

ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් නිමා වූ ජාත්‍යන්තර තරග රැසකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ භානුක රාජපක්ෂ මෙම තරගාවලියට යළි කැදවා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරයේ දී දක්ෂතා දැක් වූ මුල්පෙල පිතිකරු නුවනිදු ප්‍රනාන්දු ද 20යි 20 සංචිතයට ඇතුළත්.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා මූලික 20යි 20 සංචිතයට ද ඔහු ඇතුළත්ව නොසිටි පසුබිමකයි.

ළහිරු මදුෂංඛ, කසුන් රාජිත හා ලක්ෂාන් සදකැන් යළි 20යි 20 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

අවසන් වරට ඉන්දියාව සමග පැවැති 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිදු හසරංග(කොවිඩ් 19 හේතුවෙන්), රමේෂ් මෙන්ඩිස්(ආබාධයක් හේතුවෙන්), මහීෂ් තීක්ෂණ(ආබාධ), කුසල් මෙන්ඩිස්(ආබාධ), නුවන් තුෂාර(ආබාධ) යන ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු 20යි 20 තරගාවලිය වෙනුවෙන් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබූ අතර, ඊට ඇතුළත්ව සිටි ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු කුමාර, නිපුන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, සහන් ආරච්චි, ධනංජය ලක්ෂාන්, දුනිත් වෙල්ලාලගේ, නිරෝෂන් දික්වැල්ල හා අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින්ට 20යි 20 අවසන් සංචිතයේ ස්ථාන හිමිව නැහැ.

නිමා වූ 20යි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ට 20යි 20 මූලික සංචිතයේ ද ස්ථානයක් අහිමි වුණා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය ලබන 7, 8 හා 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරග දෙක කොළඹ ආර්. ප්‍රේමාදස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙන අතර, අවසන් 20යි 20 තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

T20 Squad

01) Dasun Shanaka – Captain
02) Pathum Nissanka
03) Danushka Gunathilaka
04) Kusal Mendis
05) Charith Asalanka
06) Bhanuka Rajapaksa
07) Nuwanidu Fernando
08) Lahiru Madushanka
09) Wanindu Hasaranga
10) Chamika Karunaratne
11) Dushmantha Chameera
12) Kasun Rajitha
13) Nuwan Thushara
14) Matheesha Pathirana
15) Ramesh Mendis
16) Maheesh Theekshana
17) Praveen Jayawickrama
18) Lakshan Sandakan

Comments (0)
Add Comment