ඉන්දියාව සමග දිල්ලි හී දී ඊයේ(17) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉතිරි දින හතරෙන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කම්පන තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඉවත් කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු වෙනුවට මැට් රේන්ෂෝ අවසන් 11 දෙනාගේ කණ්ඩායමට ආදේශ කිරීමටයි (concussion substitute) පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියානු ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී මොහමඩ් සිරාජ් යොමු කළ කෙටි පන්දුවක් වෝනර්ගේ හිස් ආවරණයේ වැදුණු අතර, ඒ හේතුවෙන් ඔහු මෙම කම්පන තත්ත්වයට ගොදුරු වී තිබෙනවා.
ඊට පෙර ද සිරාජ්ගේ පන්දුවක් වෝනර්ගේ අතක වැදීමෙන් ඔහුට ක්‍රීඩාංගනයේ දී ම අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ද කටයුතු කෙරුණා.
කෙසේ වෙතත්, එම අනතුරු දෙකෙන් පසුව ද වෝනර් අඛන්ඩව පිතිකරණයේ නිරත වූ අතර, ඔහු දැවී ගියේ ලකුණු 15 ක් ලබා සිටියදීයි.
නමුත්, ඉන්දීය ඉනිම පස්වරු කාලයේ දී ආරම්භ වීමෙන් පසුව පන්දු රැකීම සදහා වෝනර් ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියේ නැහැ.
ඔහු වෙනුවවට මේ වන විට කණ්ඩායමට ආදේශ කර ඇති මැට් රේන්ෂෝ පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළ නමුත්, දෙවැනි ටෙස්ට් තරගයේ දී රේන්ෂෝ වෙනුවට ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට කැදවීමටයි ඊයේ පියවර ගෙන තිබුණේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් ආබාධ රැසක් හේතුවෙන් බලපෑමට ලක්ව තිබෙනවා. මිචෙල් ස්ටක්, කැමරන් ග්‍රීන් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින්ට පළමු ටෙස්ට් තරග දෙකම අහිමි වූයේ ආබාධවලට ලක් වීම හේතුවෙන්.