ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගනය කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
බ්‍රිස්බේන්හීදී පැවැත්වීමට නියමිත 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව එම ක්‍රීඩාංගනය ඉවත් කිරීමට කටයුතු කරන බවයි ක්වීන්ස්ලන්ත රජය නිවේදනය කළේ.
එම ක්‍රීඩාංගනය වෙනුවට බ්‍රිස්බේන්හි වික්ටෝරියා පාර්ක් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් 63,000 කට තරග නැරඹිය හැකි නව ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරභක උත්සවය, සමාප්ති උත්සවය මෙන්ම මළල ක්‍රීඩා තරග ද එම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
2028 ඔලිම්ක් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇති අතර, බොහෝ විට 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කෙරෙනු ඇති. එසේ වුවහොත් එම ඔලිම්පික් ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරග ගැබා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2032 වසර දක්වා සුපුරුදු පරිදි ගැබා ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතව ඇති නමුත්, ඉන් අනතුරුව සියලු ක්‍රිකට් තරග ඉදිරියේදී ඉදි කෙරෙන නව ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව 2032 වසරෙන් පසුව ගැබා ක්‍රීඩාංගනය කඩා ඉවත් කිරීමට කටයුතු කරන අතර, එම ස්ථානයේදී නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතයි.
1895 වසරේදී ඉදි කෙරුණු ගැබා ක්‍රීඩාංගනයේදී පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ 1931 වසරේදීයි. අනතුරුව මේ දක්වා එම ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග 67 ක් පවත්වා තිබෙනවා.
1988 වසරේ සිට 2021 වසර දක්වා එම ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව තිබුණේ ද නැහැ.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු සම වීමෙන් අවසන් වූ පළමු ටෙස්ට් තරගය ද 1960 වසරේදී පැවැත්වුණේ මෙම ක්‍රීඩාංගනයේදීයි.
ඉදි කිරීමට නියමිත නව ක්‍රීඩාංගනය සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8 ක්. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් බිලියන 712 ක් පමණ වනවා.