දග පන්දු යවන්නන් නිපන්දු යොමු කිරීම “මහා අපරාධයක්” බව බංග්ලාදේශ 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් පවසනවා.
ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 2ක පරාජයක් ලැබීමත් සමග මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට බංග්ලාදේශයට ඊයේ(1) රාත්‍රියේ සිදු වූ අතර, ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
මෙම තරගයේ දී බංග්ලාදේශ පන්දු යවන්නන් නිපන්දු 4ක් හා වයිඩ් පන්දු 6ක් යොමු කළා. ඒ, ශ්‍රී ලංකාව කිසිදු නිපන්දුවක් හෝ වයිඩ් පන්දුවක් යොමු නොකළ පසුබිමකයි. තරගයේ පරාජයට බංග්ලාදේශයට බෙහෙවින් බලපානු ලැබුවේ ලබා දුන් අතිරේක ලකුණුයි.
දග පන්දු යවන ක්‍රීඩක මහෙදි හසාන් විසින් නිපන්දු දෙකක් යොමු කළ අතර, එම නිපන්දු දෙක තරගයේ තීරණයට දැඩිව බලපෑවා. පළමු නිපන්දුව යැවූ අවස්ථාවේ දී කුසල් මෙන්ඩිස් (ලකුණු 29 ක් ලබා සිටියදී) මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය නමුත්, පසුව එම පන්දුව නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් තීරණය කිරීමත් සමග මෙන්ඩිස් පිටියේ තවදුරටත් රැදී සිටීමට වාසනාවන්ත වුණා. මෙන්ඩිස් මෙම තරගයේ දී පන්දු 37 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්.
මහෙදි හසාන් විසින් දෙවන නිපන්දුව යොමු කළේ තරගයේ අවසන් පන්දුවාරයේ දී යි. ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහනය සදහා පන්දු 4 කදී ලකුණු 3ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. අසිත ප්‍රනාන්දු එම පන්දුවට මුහුණ දුන් අතර, ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ලකුණු දෙකක් ලබා ගැනීමට එම පන්දුවේ දී සමත් වීමත් සමග කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට පැමිණියා.
කෙසේ වෙතත්, තෙවන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස තීරණය කිරීමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුණා.
“කිසිම නායකයෙකුට අවශ්‍ය නෑ තමන්ගේ කණ්ඩායමෙන් නිපන්දු” යනුවෙන් ශකිබ් අල් හසාන් කියා සිටියා.
“දග පන්දු යවන්නෙක් නිපන්දු යවන එක මහා අපරාධයක්. අපි අද නිපන්දු හා වයිඩ් පන්දු ගොඩක් යැව්වා. අපිට විනයක් තිබුණේ නැහැ. අපි පීඩනයට පත් වූ විට කුමක් කළ යුතු දැයි අපි දන්නේ නෑ. අපි දැනගෙන හිටියා කුසල් (මෙන්ඩිස්) දග පන්දු යවන්නන්ට එරෙහිව හොදින් ක්‍රීඩා කරනවා කියලා. ඉතිං අපිට ඔහුගේ කඩුල්ල කළින් දවා ගන්න පුලුවන් වුණානම්, අපේ දග පන්දු යවන්නන්ට තරගයට අවතීර්ණ වීමට එය වේදිකාවක් සකස් කරනවා.”
“නමුත් ඔහු කඩුල්ලේ රැදී සිටින තුරු අපේ දග පන්දු යවන්නන්ට පන්දු යවන්න අමාරු වුණා. ඔහුගේ උඩ පන්දුවක් ලකුණු දෙකේ දී ගිලිහී ගියා. ඊළගට ඔහු දැවී ගිය අවස්ථාවේ දී ඒක නිපන්දුවක් වුණා. අපේ දඟ පන්දු යවන්නන් සාමාන්‍යයෙන් නිපන්දු යවන්නේ නැහැ. නමුත් අපි පීඩනය හමුවේ ඇද වැටෙන බව අද ඔප්පු වුණා. අපි ජයග්‍රහනය ආසන්නයට ආ තරගවලින් 50%ක්වත් දින්නනම් අපිට මේ තරග රටාවෙන් හොද වාර්තාවක් තියෙන්න ඉඩ තිබුණා”