එංගලන්තය ජයග්‍රහනයට ලකුණු 35 ක් පිටුපසින්

සංචාරක ඉන්දීය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර පැවැත්වෙන 5 වන ටෙස්ට් තරගයේ 4 වන දිනය වර්ෂාව හේතුවෙන් අද (3) නියමිත කාලයට පෙර නතර කිරීමට සිදු වුණා.

ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනයට නතර කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 374 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩා‍යම කඩුලු 6 ක් බිඳ වැටී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 339 ක්.

ජෝ රූට් හා හැරී බෲක් දියත් කළ ශතක ඉනිම් සමගින් විටක එංගලන්තයට පහසු ජයග්‍රහනයක බලාපොරොත්තුවක් තිබූ නමුත්, හැරී බෲක්ගේ (ලකුණු 111) දැවී යාමෙන් පසු ඉන්දීය කණ්ඩා‍යම යළි සටනට අවතීර්ණ වුණා.

සිව්වැනි කඩුල්ල ලෙස බෲක් දැවී යන විට ලකුණු පුවරුව 301 ක් ලෙස සටහන්ව තිබුණා. රූට් හා බෲක් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 195 (211) ක්.

ඉන් අනතුරුව ජේකොබ් බෙතෙල්ව ද දවාගත් ඉන්දියාව ජෝ රූට් (ලකුණු 105) දියත් කරමින් සිටි විශිෂ්ට ඉනිම ද නිමාවට පත්කළා.

ජෙමි ඕවර්ටන් සමගින් ජෙමි ස්ම්ත් මේ වන විට කඩුල්ලේ රැඳී සිටින අතර, තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට තවත් ලකුණු 35 ක් අවශ්‍ය වනවා. තරගාවලිය 2-2 ක් ලෙස සමව අවසන් කිරීමේ දැඩි උත්සාහයක පසු වන ඉන්දීය කණ්ඩා‍යම මෙම තරගයේ ජයග්‍රහනය සදහා තවත් කඩුලු 4 ක් දවා ගත යුතුයි.

ඒ අනුව තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගනිමින් දෙපිළටම මේ වන විට විවෘත වී ඇති බව නොරසක්.

Comments (0)
Add Comment