එංගලන්තයට ලකුණු 113ක ජයක් – තරගාවලියත් සම කරයි – Match Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 113 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද(20) දිනයේ දී සියලු දෙනා දැවී දෙවන ඉනිමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

ෂමාර්හ් බෘක්ස් ලකුණු 62ක් සහ ජර්මෙයින් බ්ලැක්වුඩ් ලකුණු 55ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා.

ඔවුන් සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3ක් දැවී ලකුණු 129ක් ලබා සිටියදීයි.

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේ පන්දු 57කට පමණක් මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී කෙමා රෝච් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

මැන්චෙස්ටර්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 469ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩොම් සිබ්ලි ලකුණු 120ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 176ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 260ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5 ක් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287ක්.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 75ක්, ෂමාර්හ් බෘක්ස් ලකුණු 68ක් සහ රොස්ටන් චේස් ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ්, ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, සෑම් කරන් කඩුලු 2ක් බිද හෙලුවා.

වර්ෂාව හේතුවෙන් තරගයේ තෙවන දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමට ද සිදු වුණා.

තරගයේ වීරයා බෙන් ස්ටොක්ස්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තෙවන හා අවසන් තරගය එළඹෙන සිකුරාදා(24) මැන්චෙස්ටර්හී දී ම ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment