ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන අයි.සී.සී රැස්වීම අතරතුරදී ඒ සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතන අතර වැඩිදුරටත් සාකච්ඡා සිදු වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත මෙම තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා.
මෙම යෝජනාවට ඉන්දියාව එකග වුවහොත් තරගාවලිය කොළඹදී හා මහනුවරදී පැවැත්වීමට ඉඩ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් මෙරට දී පැවැත්වීමට පළමුව යෝජනා වී තිබූ නමුත්, 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් විස්සයි 20 තරග සදහා වැඩි ප්‍රමුඛතාවයක් මෙම තරගාවලියේදී ලබා දීමට අවධානය යොමුව ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම තරග සංචාරය සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකගතාවය පල නොකරනු ඇති බවයි.
ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය කල් දැමීමට ගත් තීරණයත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ගත් තීරණයත් හේතුවෙනුයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා මෙරට ක්‍රිකට් ආයතනයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ.