පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කිරීමත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින්, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
එහිදී පවතින තත්ත්වය සමථයකට පත් කර ගැනීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි NDTV මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත්තේ.
ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට අයි.සී.සීය තීරණය කිරීමට ප්‍රතිචාර දක්වමින් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට පාකිස්තාන රජය තීරණය කළා.
නමුත්, එසේ කළහොත් පාකිස්තානයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට අයි.සී.සීය පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනයට අනතුරු ඇගවීමක් සිදු කර තිබුණා.
ඉරිදා ලාහෝර් හි පැවති සාකච්ඡාවේදී පාකිස්තානය අයි.සී.සීයෙන් සිදු කර ඇති ඉල්ලීම් වන්නේ, අයි.සී.සී ආදායමෙන් බංග්ලාදේශයට ලැබෙන මූල්‍යමය කොටස වැඩි කිරීම, T20 ලෝක කුසලාන තරගාවලියෙන් නෙරපා හැරියද බංග්ලාදේශයට සහභාගී වීමේ ගාස්තුවක් ලබා දීම සහ අනාගත ICC තරගාවලියක සත්කාරකත්වය සැපයීමට බංග්ලාදේශයට අවස්ථාව ලබා දීම යන ඉල්ලීම් තුනයි.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi අද දිනයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා හමු වී ඉන්දීය තරගය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද NDTV වාර්තා කර තිබෙනවා.
ඉන්දියාව සමග ක්‍රීඩා කිරීම වර්ජනය කරන බව පාකිස්තානය නිවේදනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පාකිස්තානයට ලිපියක් යොමු කරමින් එම තීරණය පිළිබද යළි සළකා බලන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ, එම තීරණය තුළින් ශ්‍රී ලංකාවට ද දැඩි මූල්‍යමය අලාභයක් සිදු වන බැවින්.
තරග කාලසටහනට අනුව ඉන්දු-පාකිස්තානය තරගය එළඹෙන 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.