ඉන්දියාව එපා කියූ T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද?

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ලබා ගන්නා ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දියාවට කළ යෝජනාව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෝසම් වැසි හා කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ද ලබන වසරේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබීම පදනම් කර ගනිමින් මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට අකමැත්ත පල කළ බවයි ජේ ශාහ් සදහන් කළේ.

T20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව ඇතත්, එරට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අගෝස්තු 20 වැනිදා ගැනීමට නියමිතව ඇති බව ද සදහන්.

ඉන්දියාව සත්කාරකත්වය දැරීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔක්තෝබර් 3-20 අතර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සදහා මේ වන විට ඉතිරිව ඇති විකල්ප රටවල් දෙක බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

top
Comments (0)
Add Comment