ඉන්දියාවේ අභියාචනයෙන් පසු අයි.සී.සීය සිය තීරණය හකුලා ගනියි

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය සදහා යොදා ගත් ඉන්දෝර් හි Holkar ක්‍රීඩාංගනයේ තණතීරුව “දුර්වල” (poor) තණතීරුවක් ලෙස තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ලබා දුන් තීරණය සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, තරග තීරකවරයාගේ තීරණයට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගොණු කළ අභියාචනයක් අයි.සී.සී අභියාචනා මණ්ඩලයක් විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

තෙවැනි දිනයේ දිවා ආහාරයටත් පෙර අවසන් වූ අදාළ තරගයට යොදා ගත් තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අවගුණ ලකුණු 3ක් පැනවීමට තරග තීරකවරයා කටයුතු කර තිබුණා.

නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගොණු කළ අභියාචනයෙන් පසුව අයි.සී.සී ක්‍රිකට්-සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් හා අයි.සී.සී ක්‍රිකට් කමිටු සාමාජික රොජර් හාර්පර් ඇතුළත් අභියාචනා මණ්ඩලය විසින් තරගයේ වීඩියෝ දර්ශන සමාලෝචනයකට ලක් කිරීමෙන් පසුව තීරණය කර ඇත්තේ තරගයට යොදා ගත් තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස නොව, එය නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් (below average) ඇති තණතීරුවක් බවට නියම කරන බවයි.

ඒ හේතුවෙන් මීට පෙර එම ක්‍රීඩාංගනයට ලබා දුන් අවගුණ ලකුණු තුන, එක් අවගුණ ලකුණක් දක්වා පහත දැමීමට අයි.සී.සී ය පියවර ගෙන තිබෙනවා.

අදාළ තරගයේ පළමු දිනයේ සිටම තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් උචිත ස්වභාවයක් ගනු ලැබූ අතර, පළමු දිනයේ දී පමණක් කඩුලු 14 ක් බිද වැටුණා.

තරගයේ දී දැවී ගිය කඩුලු 31 න් කඩුලු 26 ක් ම දග පන්දු යවන්නන් විසින් දවා ගත් අතර, වේග පන්දු යවන්නන් විසින් දවා ගත්තේ කඩුලු 4 ක් පමණයි. එක් කඩුල්ලක් දුවද්දී දැවීයාමක් ලෙස දැවී ගියා.

“තණතීරුව ගොඩක් වියළියි. පිතිකරණය හා පන්දු යැවීම අතර සමබරතාවයක් ලබා දුන්නේ නැහැ. ආරම්භයේ සිටම දග පන්දු යවන්නන්ට සහාය දක්වනු ලැබුවා.” යනුවෙන් තරග තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් සිය වාර්තාවේ සදහන් කර තිබුණා.

big 3
Comments (0)
Add Comment