ආසියානු කුසලානය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අනුමැතිය හිමිවන ලකුණු

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ දෙමුහුන් යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය පැවැත්වෙන දෙවැනි රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට නියමිතව ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

තරගාවලියට අයත් තරග 13 න් තරග 4 ක් හෝ 5 ක් පාකිස්තානයේ දී පැවැත්වීමට මෙම දෙමුහුන් යෝජනාවෙන් යෝජනා කර ඇති බව සදහන්.

ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මෙම සති අන්තයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සැප්තැම්බර් 1-17 දක්වා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, පාකිස්තාන අදියරට අයත් තරග ලාහෝර් හී දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

මෙම දෙමුහුන් යෝජනාවට අනුමැතිය හිමි වුවහොත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තානයේ සහභාගීත්වයට ද බාධාවක් එල්ල නොවනු ඇති.

ආසියානු කුසලාන තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙලෙස දෙමුහුන් යෝජනාවක් ඉදිරිපත් කළේ.

පළමුව පාකිස්තානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීමට පාකිස්තානය යෝජනා කර තිබුණේ ඉන්දු-පාකිස්තාන තරගවලින් ප්‍රවේශ පත්‍ර ඔස්සේ වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, එමීර් රාජ්‍යයේ සැප්තැම්බර් මාසයේ පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව එම යෝජනාවට විරුද්ධත්වය පල කර තිබුණා.

සමස්ත තරගාවලියම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවුණා.

Comments (0)
Add Comment