මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට තවත් ඇත්තේ දින 4ක් පමණයි.
එළඹෙන 11 වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන අවසන් තරගය සදහා මෙතෙක් කිසිදු කණ්ඩායමක් ස්ථීර වශයෙන් සුදුසුකම් ලබා නැතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සදහා ඉහළ අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.
මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තරග දෙකම ජය ගත් ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගනිමින්. ඔවුන්ට හිමි දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන්ව ඇත්තේ 0.351 ක් ලෙසයි.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය පාකිස්තානයටත්(ප්‍රසාද ලකුණු 2), තෙවැනි ස්ථානය ඉන්දියාවටත්(ප්‍රසාද ලකුණු 0), සිව්වැනි ස්ථානය ඇෆ්ඝනිස්තායටත් (ප්‍රසාද ලකුණු 0) හිමිව තිබෙනවා.
ඒ අනුව ඒ ඒ කණ්ඩායම් සදහා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව කෙබදුද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.
ශ්‍රී ලංකාව – (ඉතිරි තරගය – පාකිස්තානයට එරෙහිව)
පාකිස්තානය මීළග තරගයෙන් පරාජය කිරීම හෝ ඇෆ්ඝනිස්තානය තවත් එක් තරගයක් පරාජයට පත් වීම හෝ පාකිස්තානයට හෝ ඇෆ්ඝනිස්තානයට වඩා ඉහළ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන යාම තුළින් ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගත හැකියි.
සත්කාරක ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම අභියෝගයට ලක් කළ හැකි වන්නේ ඇෆ්ඝනිස්තානය අද හා හෙට දිනවල පාකිස්තාන කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකෙන්ම ජය ලබා ගතහොත් පමණයි.
ඇෆ්ඝනිස්තානය එම තරග දෙකම ජයගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 4ක් වන අතර, පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත් පාකිස්තානයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත් 4 ක් ලෙස සම තත්ත්වයට පත් වනවා.
එසේ වුවහොත්, එම රටවල් තුනෙන් ඉහළම දල ලකුණු ලබා ගැනීමේ වේගය හිමි කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.
නමුත්, ශ්‍රී ලංකාව විසින් මීළග තරගයෙන් පාකිස්තානය පරාජය කළහොත් අනෙකුත් තරගවල ප්‍රතිපලවල බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගත හැකියි.
පාකිස්තානය අද තරගය ජයගතහොත් තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකාව හා පාකිස්තානය සුදුසුකම් ලබා ගන්නවා.
පාකිස්තානය – (ඉතිරි තරග – ඇෆ්ඝනිස්තානයට හා ශ්‍රී ලංකාවට එරෙහිව)
පෙර සදහන් කළ පරිදි පාකිස්තානය අද තරගය ජයගතහොත් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.
පාකිස්තානය අද තරගයෙන් පරාජයට පත්ව, ඉතිරි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කළහොත් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට හෝ ඇෆ්ඝනිස්තානයට වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට සිදු වනවා. (ඇෆ්ඝනිස්තානය ඉන්දියාව හමුවේ පරාජයට පත්වුවහොත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අවශ්‍ය වන්නේ නැහැ)
පාකිස්තානය ඉතිරි තරග දෙකම පරාජයට පත්වුවහොත්, ඉන්දියාව විසින් ඇෆ්ඝනිස්තානය පරාජයට පත් කිරීම තුළින් පමණක් පාකිස්තානයට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් උදා වනු ඇති. එහිදී පාකිස්තානයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉන්දියාවට හා ඇෆ්ඝනිස්තානයට වඩා ඉහළ අගයක් ගැනීම ද අනිවාර්යය වනවා.
ඉන්දියාව – (ඉතිරි තරගය – ඇෆ්ඝනිස්තානයට එරෙහිව)
ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් මීළග තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරාජයට පත් කිරීම අනිවාර්යය වනවා.
එමෙන්ම පාකිස්තානය ඉතිරි තරග දෙකම පරාජයට පත් වීම ද අනිවාර්යය වන අතර, අනතුරුව දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් පාකිස්තානයට හා ඇෆ්ඝනිස්තානයට වඩා ඉන්දියාව ඉදිරියෙන් පසු වීම ද අනිවාර්යය වනවා.
ඇෆ්ඝනිස්තානය – (ඉතිරි තරග – පාකිස්තානයට හා ඉන්දියාවට එරෙහිව)
ඉතිරි තරග දෙකම ජය ගනිමින් පාකිස්තානයට හෝ ශ්‍රී ලංකාවට වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉහළ මට්ටමක පසුවුවහොත් ඔවුන්ට ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් උදා වනවා.
අද තරගය පාකිස්තානයට එරෙහිව ජය ගෙන, ඊළග තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවහොත්, ඉන්දියාවේ හා ඇෆ්ඝනිස්තානයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2 ක් ලෙස සම තත්ත්වයට පත් වනවා. අනතුරුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව අතින් පරාජයට පත් වීම ද සිදු වුවහොත් පාකිස්තානයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ද දෙකක් බවට පත් වනවා. එසේ වුවහොත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඇෆ්ඝනිස්තානය අනෙක් කණ්ඩායම් දෙකටම වඩා ඉහළින් පසුවුවහොත් පමණක් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇති.
— cric fun (@cric12222) September 7, 2022
— cric fun (@cric12222) September 7, 2022