අෆ්රිඩි නායකත්වයෙන් ඉවතට – නව නායකයා ලෙස යළිත් බාබර් පත් වන ලකුණු

පාකිස්තාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස යළිත් හිටපු නායක බාබර් අසාම් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබෙනවා.

නව තේරීම් කමිටුවේ නිර්දේශ මත මෙලෙස නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිතව ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ලබන මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියේ සිට බාබර් අසාම් යළි විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බව සදහන්.

බාබර් අසාම් මෙතෙක් නායකත්වය භාර ගැනීමට තීරණය කර නොමැති අතර, ඔහු විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමාව තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස පත් කිරිමට කටයුතු කරන්නේනම් ඒ පිළිබද සලකා බැලිය හැකි බවයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් සමග පසුගිය නොවැම්බර් මාසයේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන්(තරග රටා තුනේම) ඉවත් වීමට බාබර් අසාම් තීරණය කළා.

අනතුරුව විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි ද, ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කෙරුණා. එක්දින කණ්ඩායම සදහා කිසිදු නායකයෙකු ස්ථීර ලෙස පත් කෙරුණේ නැහැ.

බාබර් අසාම්ගේ ඉවත් වීමෙන් පසුව අෆ්රිඩි නවසීලන්තයට එරෙහි තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ නමුත්, එම තරගාවලියෙන් පාකිස්තානය තරග 4-1 ක් ලෙස පරාජයට පත් වුණා.

ශාන් මසූඩ් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කර ඇත්තේ ද එක් තරගාවලියකදී පමණයි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එම ටෙස්ට් තරගාවලිය තරග 3-0 ක් ලෙස පාකිස්තානය පරාජයට පත් වුණා.

Comments (0)
Add Comment