අසලංකගේ ප්‍රහාරය සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දෙයි

Match Report

චරිත් අසලංකගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් නවසීලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(2) සමත් වුණා.

ඔක්ලන්ඩ් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි.

ඒ අනුව තරගයේ දී කණ්ඩායම් දෙකම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම වූ බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන්නේ නවසීලන්තයයි. මහීෂ් තීක්ෂණ යොමු කළ එම පන්දුවාරයේ දී නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ චරිත් අසලංක සමගින් කුසල් මෙන්ඩිස්. සුපිරි පන්දුවාරයේ දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් අසලංක ශ්‍රී ලංකාවට ජයග්‍රහනය සදහා මාවත විවර කළා. තෙවැනි පන්දුව නිපන්දුවක් වූ අතර, එම පන්දුවට හතරේ පහරක් ද එල්ල කරමින් අසලංක ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දුන්නා.

ලකුණු 196 ක හඹා යාම ඇරඹූ නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස ටිම් සෙයිෆර්ට් ලකුණු නොලබා සිටියදීත්, චැඩ් බවුස් ලකුණු 2ක් ලබා සිටියදීත් දවා ගැනීමට පිළිවෙලින් මහිෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා. ඒ, මුළු ලකුණු සංඛ්‍යාව 3ක් ලෙස සටහන්ව තිබියදීයි.

නායක ටොම් ලේතම් ලකුණු 27 යි. ඔහු හා ඩැරල් මිචෙල් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 63 (39) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ප්‍රමෝද් මදුෂාන් විසින් ලේතම් දවා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත් වූ ඩැරල් මිචෙල් හා මාර්ක් චැප්මන් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 66 (40) ක සබදතාවයක් ගොඩ නැගුවා. චැප්මන් ලකුණු 33(23) කට දවා ගත්තේ වනිදු හසරංග විසින්. එය ඔහු මෙම සංචාරයේ දී දවා ගත් පළමු කඩුල්ලයි.

ඩැරල් මිචෙල් පන්දු 44 කින් ලකුණු 66 ක් ලබා ගත්තා. දසුන් ශානක විසින් ඔහු යළි ක්‍රීඩාගාරය වෙත හරවා යවන විට මැචෙල්ගේ ඉනිම හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්ව තබුණා.

ජේම්ස් නීෂම් ලකුණු 19කට දැවී ගිය අතර, රචින් රවීන්ද්‍ර පන්දු 13 කින් වේගවත් ලකුණු 26 ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා.

අවසන් පන්දුවාරයේ දී නවසීලන්තයට ජයග්‍රහනය සදහා ලකුණු 13 ක් අවශ්‍ය වූ අතර, දසුන් ශානක යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට රවීන්ද්‍ර දැවී යාමත් සමග තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට නතු වුණා. කෙසේ වෙතත්, අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉෂ් සෝදි තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග, ප්‍රමෝද් මදුෂාන් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 45 කින් නොදැවී ලකුණු 53 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා. 2021 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවයි ඔහු මෙලෙස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ. ඔහු හා කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 47 (19)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි. ධනංජය ද සිල්වා ලකුණු 15 කට දැවී ගියා.

අනතුරුව කුසල් පෙරේරා සමග පිටියේ එක් වූ චරිත් අසලංක සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 103 (68) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අවශ්‍ය පදනම සකස් කළා. අසලංක පන්දු 41 කින් වේගවත් ලකුණු 61 ක් රැස් කළේ හයේ පහර 6 ක් හා හතරේ පහර 2ක් සමගින්.

ඉනිමේ 17 වැනි, 18 වැනි හා 19 වැනි පන්දුවාරවලදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 11 ක් පමණයි. කෙසේ වෙතත්, 20 වැනි පන්දුවාරයේ දී හයේ පහර 2ක් සමගින් ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන යාමට වනිදු හසරංග සමත් වුණා. හසරංග පන්දු 11 කින් නොදැවී ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Comments (0)
Add Comment