අවසන් පූර්ව තරගය අභියසදී පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකුට උණ

පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ට හා මැදපෙල පිතිකරු ෂොයිබ් මලික්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා උණ රෝගී තත්ත්වයකින් පසු වන බැවින්.

ඒ හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(10) දිනයේ දී පුහුණුවීම් කටයුතු සදහා ද සහභාගී වී නැහැ.

ක්‍රීඩකයින් දෙදෙනාටම කොවිඩ් 19 පරීක්ෂණයක් ද සිදු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාටම එවැනි අවධානම් තත්ත්වයක් නොමැති බවයි.

සෙසු පාකිස්තාන ක්‍රීඩකයින් ද මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණවලින් සමත්ව තිබෙනවා.

මොහොමඩ් රිස්වාන් හා ෂොයිබ් මලික් මෙම තරගාවලියේ දී මේ දක්වා ඉහළ දක්ෂතා දැක් වීමට සමත්ව ඇති බැවින් ඔවුන් දෙදෙනාට අද තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එය පාකිස්තාන කණ්ඩායමට දැඩි අවාසි සහගත තත්ත්වයක් වනු ඇති.

රිස්වාන්ට හා මලික්ට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, සර්ෆ්‍රාස් අහ්මඩ් හා හෙයිදර් අලී පාකිස්තාන කණ්ඩායමට ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

 

Comments (0)
Add Comment