මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 7ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(22) සමත් වුණා.
ලක්නව් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹා ගිය සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.
ආරම්භක පිතිකරුවන් වූ නායක කේ එල් රාහුල් පන්දු 61 කින් ලකුණු 68 ක් ද , ක්යල් මේයර් පන්දු 19 කින් ලකුණු 24 ක් ද රැස් කළා. කෘනාල් පාන්ඩ්යා ලකුණු 23 යි.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ගුජරාට් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. නිකලස් පූරාන් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. අයුෂ් බදෝනි ලකුණු 8කටත්, මර්ක්ස් ස්ටොයිනිස් ලකුණු නොලබා පළමු පන්දුවෙනුත්, දීපක් හූදා ලකුණු දෙකකටත්, දැවී ගියා.
ලක්නව් පිලට අවසන් පන්දු 30 තුළදී කඩුලු 8 ක් අතැතිව තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූයේ ලකුණු 30 ක් පමණයි. කෙසේ වෙතත්, ඉතා හොද සටනක් ලබා දුන් ගුජරාට් පන්දු යවන්නන් ලක්නව් පිලට අවසන් පන්දුවාරයේ දී කඩුලු 7ක් අතැතිව ජයග්‍රහනය සදහා ලකුණු 12 ක් ලබා ගත යුතු තැනට තරගය ගෙන ඒමට සමත් වුණා.
ඒ වන විටත් කේ එල් රාහුල් කඩුල්ලේ රැදී සිටි නමුත්, මෝහිට් ෂර්මා යොමු කළ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ඔහු දැවී ගියා. අනතුරුව යොමු කළ පන්දුවේ දී ස්ටොයිනිස් දැවී ගිය අතර, බදෝනි හා හූදා ඊළග පන්දු දෙකේ දී දුවද්දී දැවී යාම්වලට ගොදුරු වුණේ මෙම තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමේ ලක්නව් බලාපොරොත්තු සුන් කරමින්.
පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් හා මෝහිට් ෂර්මා කඩුලු 2 බැගින් දවා ගත් අතර, රෂීඩ් ඛාන් එක් කඩුල්ලක් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 135 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.
නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 50 කින් ලකුණු 66 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. ව්රිධිමන් සහා ලකුණු 47 යි.
පන්දු යැවීමේ දී කෘනාල් පාන්ඩ්යා හා මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.