අර්බුදය විසදමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කරන්න අයර්ලන්ත රජයේ අනුමැතිය

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ස්ථීර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හා ඉහළ කර්යය සාධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සදහා එරට රජය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලින් නුවර ජාතික ක්‍රීඩා මණ්ඩප පරිශ්‍රයේ මෙම ක්‍රීඩාංගනය හා ඉහළ කර්යය සාධන මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිතයි.

එංගලන්තය හා ස්කොට්ලන්තය සමග 2030 වසරේ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දීම සදහා ද අයර්ලන්තය සූදානමින් පසුවන අතර, ඒ සදහා සූදානම් වීමේ පියවරක් ලෙස ද මෙම ක්‍රීඩාංගනය ඉදි කරනු ඇති.

ස්ථීර සත්කාරක ක්‍රීඩාංගනයක පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ දෙරට අතර ඉතිහාසයේ පළමු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය ද මෙම වසර මුලදී කල්දැමීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනයට සිදු වුණා.

මේ වන විට අයර්ලන්තය සතුව එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන 4 ක් Malahide, Clontarf, Stormont හා Bready හි පිහිටා තිබෙනවා. කෙසේ වෙතත්, එම ක්‍රීඩාංගන තාවකාලික ආසන සහිත ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගන වීම අයර්ලන්තය මුහුණ දෙන ප්‍රබල ගැටලුවක්.

එම ක්‍රීඩාංගනවල තාවකාලික යටිතල පහසුකම් සකස් කරමින් ජාත්‍යන්තර තරග පැවැත්වීමේ දී අයර්ලන්තයට ඉහළ පිරිවැයක් දැරීමට සිදු වනවා.

පසුගිය වසර දෙකේ දී අයර්ලන්තය විසින් සත්කාරකත්වය දැරිය යුතු තරගාවලි දෙකක් වූ දකුණු අප්‍රිකාවට හා බංග්ලාදේශයට එරෙහි තරගාවලි එංගලන්තයේ දී පැවැත්වීමට අයර්ලන්තය පියවර ගත් අතර, මෙම වසර අවසානයේ දී ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියක් ද අබුඩාබි හී දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙම නව ක්‍රීඩාංගනය අදාළ ගැටලුව ඉදිරියේ දී විසදා දෙනු ඇති.

ක්‍රීඩාංගනය ඉදි කිරීමේ පළමු අදියර 2028 වසරේ දී අවසන් කිරීමට නියමිත අතර, පළමු අදියරේ දී ආසන 4000 කින් යුත් ප්‍රේක්ෂකාගාරයක්, ඉහළ කර්යය සාධන මධ්‍යස්ථානයක් හා ක්‍රීඩකයින්ගේ මෙන්ම නිළධාරීන්ගේ විවේකාගාර ඉදි කිරීමට නියමිතව තිබෙනවා.

පුහුණුවීම් කටයුතු සදහා ගෘහස්ථ හා එළිමහන් ස්ථාන ඉදි කිරීමට ද සැලසුම් කර ඇති බව සදහන්.

Comments (0)
Add Comment